යෙසායා 56:3-8

යෙසායා 56:3-8 SNRV

සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා! නපුංසකයෙක්, ‘මම වියළි ගසක් වැන්නැ’යි නොකියා වා! සමිඳාණෝ මෙසේ පවසන සේක: “මාගේ සබත් දවස රක්ෂා කර, මා ප්‍රිය කරන දේ තෝරාගෙන, මාගේ ගිවිසුමෙහි ස්ථිර ව පිහිටා සිටින නපුංසකයෝ මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය. සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය. පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”