උත්පත්ති 21:22-31

උත්පත්ති 21:22-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එකල්හි අබිමෙලෙක් ද ඔහුගේ හමුදාපති පීකොල් ද ආබ්‍රහම් අමතමින්, “ඔබ කරන හැම දෙයකදී ම දෙවියන්වහන්සේ ඔබ සමඟයි. එබැවින් මටත්, මගේ දරුවන්ටත්, මගෙන් පැවතෙන්නන්ටත් වංචා සහගත ව කටයුතු නො කරන බවට හා මා ඔබට දැක් වූ ලෙස මටත්, දැන් ඔබ විදේශී ව සිටින මේ දේශයටත් කරුණාව දක්වන බවට දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් දිවුරන්නැ” යි කීවේ ය. “මම එසේ දිවුරමි” යි ආබ්‍රහම් කීවේ ය. ඉන්පසු ආබ්‍රහම්, අබිමෙලෙක්ගේ සේවකයින් විසින් බලෙන් අල්ලා ගන්නා ලද ජල-ළිඳක් ගැන අබිමෙලෙක්ට පැමිණිලි කළේ ය. අබිමෙලෙක් පිළිතුරු දෙමින්, “කවුරුන් මෙය කළාදැයි මා දන්නේ නෑ; ඔබ මට කීවේත් නෑ; අද දවස දක්වා මට එය අසන්නට ලැබුණේත් නෑ” යි කීවේ ය. එවිට ආබ්‍රහම් බැටළුවන් ද ගවයින් ද ගෙනවුත්, අබිමෙලෙක්ට දුන්නේ ය. එලෙස ඒ මිනිසුන් දෙදෙන ගිවිසුමකට එළැඹුණහ. ආබ්‍රහම් ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු රැළෙන් වෙන් කළේ ය. එවිට අබිමෙලෙක්, “මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු වෙන් කිරීමේ තේරුම කුමක් දැ?” යි ආබ්‍රහම්ගෙන් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මේ ළිඳ මා විසින් හාරන ලද්දක් බවට සාක්ෂියක් වශයෙන් මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙන මගේ අතින් බාරගන්නැ” යි ඉල්ලී ය. ඔවුන් දෙදෙනා එහිදී දිවුරුමක් ශපථ කළ නිසා, ඒ ස්ථානය බෙයර්ෂෙබා නමින් හැඳින්විණ.

උත්පත්ති 21:22-31 Sinhala Revised Old Version (SROV)

ඒ කාලයෙහි අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් ආබ්‍රහම්ට කථාකොට: නුඹ කරන සියල්ලේදී දෙවියන්වහන්සේ නුඹ හා සමඟය. එබැවින් නුඹ මටවත් මාගේ දරු මුණුබුරන්ටවත් වංචාවක් නොකරන හැටියටද, මා විසින් නුඹට කළ කරුණාව ලෙස නුඹ මටත් නුඹ විදේශීව සිටින මේ දේශයටත් කරන හැටියටද, දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් මෙහිදී මට දිවුරන්නැයි කීවේය. ආබ්‍රහම්ද: මම දිවුරන්නෙමියි කීය. එහෙත් අබිමෙලෙක්ගේ මෙහෙකරුවන් බලාත්කාරයෙන් උදුරාගත් වතුර ඇති ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට තරවටු කෙළේය. අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. නුඹ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය. ආබ්‍රහම් බැටළුවන් හා ගොනුන් ගෙන අබිමෙලෙක්ට දුන්නේය; ඔව්හු දෙදෙන ගිවිසුමක් කරගත්තෝය. ආබ්‍රහම් රැළෙන් බැටළු නෑම්බියන් සත් දෙනෙකු වෙන්කොට තැබුවේය. අබිමෙලෙක්ද: නුඹ වෙන්කොට තැබූ මේ බැටළු නෑම්බියන් සත්දෙනා කුමක් පිණිසදැයි ආබ්‍රහම්ට කීය. ඔහු: මේ ළිඳ මා විසින් හැරෙවූ බවට මේ බැටළු නෑම්බියන් සත්දෙනා මට සාක්ෂියක් පිණිස මාගේ අතින් පිළිගන්නැයි කීය. එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.

උත්පත්ති 21:22-31 Sinhala New Revised Version (NRSV)

ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය. ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, “මම දිවුරමි”යි කී ය. ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය. එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, “මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය. ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ. තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය. අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය. ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය. එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.

උත්පත්ති 21:22-31 Sinhala New Revised Version 2018 (SNRV)