උත්පත්ති 21:22-31
උත්පත්ති 21:22-31 NRSV
ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය. ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, “මම දිවුරමි”යි කී ය. ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය. එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, “මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය. ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ. තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය. අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය. ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය. එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.

