එස්තර් 1:13-18

එස්තර් 1:13-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

නීතිය හා විනිශ්චය පිළිබඳ කරුණුවලදී විශාරද උපදෙස් විමසීම රජුගේ සිරිත වූ බැවින් රජු කාලයන් දන්නා ප්‍රාඥයින් විමසී ය. රජුට වඩාත් සමීප වූත්, රජුගේ මුහුණ දැකීමේ අවසරය ලත් රාජ්‍යයේ මුලින් ම අසුන් ගන්නන් වූත්, පර්සියා හා මේදියා අධිපතීන් හත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා හා මෙමූකාන් ඇමතූ රජු, “නීතියට අනුව වෂ්තී බිසවට කළ යුත්තේ කුමක් ද? නපුංසක නිලධාරීන් විසින් ඇය වෙත ගෙන යන ලද අහෂ්වේරොෂ් රජුගේ නියෝගයට ඇය අකීකරු වී ඇතැ” යි කීවේ ය. එවිට රජු ද අධිපතීන් ද ඉදිරියෙහි පිළිතුරු දුන් මෙමූකාන්, “වෂ්තී බිසව වරද කර ඇත්තේ, රජුට එරෙහිව පමණක් නො වේ; සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තයන්හි ජනතාවටත් එරෙහිවයි. මන්ද බිසවගේ හැසිරීම කාන්තාවන් හැමට දැනගන්නට ලැබුණු විට, ඔවුන් තම සැමියනට ගර්හා කොට, ‘අහෂ්වේරොෂ් රජු තමන් ඉදිරියට වෂ්තී බිසව පමුණු වන්නට අණ දුන් නමුත්, ඈ පැමිණියේ නැතැ’ යි කියනු ඇත. බිසවගේ හැසිරීම ගැන අසන පර්සියාවේ හා මේදියාවේ කුල කාන්තාවන්, මේ අද දවසේ ම රජුගේ අධිපතීන්ටත් ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වනු ඇත. මේ ගරු සරු නැතිකමේත්, විරෝධයේත් නිමක් නො වනු ඇත.

එස්තර් 1:13-18 Sinhala Revised Old Version (SROV)

එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය. මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය. ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉඳගත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතීන් සත්දෙනාවන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමූකාන්ය. මෙමූකාන් රජු සහ අධිපතීන් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලුම ජාතීන්ටත් වරදක් කළාය. මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඈ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත. පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත.

එස්තර් 1:13-18 Sinhala New Revised Version (NRSV)

එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි. මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය. රජ ඔවුන් අමතා, “නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය. රජු ද අධිපතීන් ද ඉදිරියෙහි මෙමුකාන් පිළිතුරු දෙමින්, “වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලු ම ජාතීන්ටත් වරදක් කර ඇත. මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත. පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත.