දානියෙල් 9:4-9

දානියෙල් 9:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, පාපොච්චාරණ කළෙමි: “අහෝ ස්වාමිනි, තමන්වහන්සේට ප්‍රේම කරමින්, තම ආඥාවනට කීකරු වන සියල්ලන් සමඟ ස්වකීය ගිවිසුමත්, නොමියෙන ප්‍රේමයත් පවත්වන උත්තම වූත්, භයංකර වූත් දෙවියන්වහන්ස, අපි පව් කර ඇත්තෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කරමින්, කැරලි ගසා ඇත්තෙමු. ඔබගේ ආඥා හා නියමයන්වලින් අප ඉවත හැරී ඇත. අපේ රජුන්ටත්, අපේ අධිපතීන්ට, අපේ පියවරුන්ට හා දේශයේ සියලු ජනයාටත්, ඔබගේ නාමයෙන් කතා කළ ඔබගේ සේවකයින් වන දිවැසිවරුනටත් අප සවන් දුන්නේ නැත. “අහෝ ස්වාමිනි, ධර්මිෂ්ඨකම අයිති ඔබට ය. එහෙත් යූදා ජනයා ද යෙරුසලම් වාසීන් හා මුළු මහත් ඉශ්‍රායෙල් ජනයා ද වන අපට, ඔබට එරෙහිව කළ ද්‍රෝහිකම් නිසා ළඟ පාත මෙන් ම දුර බැහැර රටවලට ඔබ විසින් විසුරුවන ලද අපට අයිති අන්ත ලජ්ජාව ය. අහෝ ස්වාමින්වහන්ස, අප ද අපේ රජුන් ද අපේ අධිපතීන් හා අපේ පියවරුන් ද මෙසේ ලජ්ජාවට පත් ව ඇත්තේ, ඔබවහන්සේට එරෙහිව අප පව් කළ නිසා ය. දයාවන්තකමත්, කමාවීමත් අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ට ය. මන්ද උන්වහන්සේට එරෙහිව අප කැරලි ගසා ඇත.

දානියෙල් 9:4-9 Sinhala Revised Old Version (SROV)

මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස, අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව. ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු–ලජ්ජාව අපට අයිතිය, එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය. ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු–ලජ්ජාව අයිතිය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.

දානියෙල් 9:4-9 Sinhala New Revised Version (NRSV)

මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි: “අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක. දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු. ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු. අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය. සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය. උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය.