දානියෙල් 9:4-9
දානියෙල් 9:4-9 SROV
මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස, අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව. ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු–ලජ්ජාව අපට අයිතිය, එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය. ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු–ලජ්ජාව අයිතිය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.

