දානියෙල් 2:1-47
දානියෙල් 2:1-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නෙබුකද්නෙසර්ගේ රාජ්‍ය සමයේ, දෙවන වසරේ නෙබුකද්නෙසර් සිහින දුටුවේ ය. ඔහුගේ සිත කැලඹිණි. ඔහුගේ නින්ද ඔහු හැර ගියේ ය. එබැවින් රජු, තමා දුටු සිහින කවරේදැයි තමාට කියා දෙන පිණිස, ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද අනවිනකරුවන් හා කල්දිවරුන් ද කැඳවීමට නියෝග කළේ ය. එබැවින් ඔවුන් අවුත්, රජු අබියස සිටගත් කල, රජ ඔවුන් අමතමින්, “මට සිහිනයක් පෙනුණා. ඒ සිහිනය දැනගැනීමට මගේ ආත්මය කැලඹිලා” යි කීවේ ය. එවිට අරාම් බසින් රජු ඇමතූ කල්දිවරු, “සැම කල් දිනේවා අහෝ රජතුමනි! ඔබේ සේවකයින්ට සිහිනය පවසන්න. එවිට අපි එහි අරුත කියා දෙන්නෙමු” යි කීවෝ ය. රජු කල්දිවරුන්ට පිළිතුරු දෙමින්, “නියතයෙන් ම මගේ වචනය ස්ථිරයි. මගේ සිහිනය කුමක් ද යන්නත්, එහි තේරුම කුමක් ද යන්නත් නුඹලා මට නො කීවොත් අවයවයෙන් අවයවය නුඹලාගෙන් ඉරා දමනු ලැබේ. නුඹලාගේ නිවෙස් ද සුන්බුන් ගොඩවල් බවට පත් කෙරේ. එහෙත් නුඹලා මට සිහිනය පවසා, එය පහදා දුනහොත් නුඹලාට මගේ ත්‍යාග ද පාරිතෝෂ ද ඉමහත් ගෞරවයක් ද ලැබේ. එබැවින් දැන් සිහිනය මට පවසා, එහි අරුත් පහදා දෙනු” යි පැවසී ය. ඔවුහු දෙවන වරටත් රජුට පිළිතුරු දෙමින්, “රජතුමා තම සේවකයිනට සිහිනය පවසත්වා! එවිට අපි එහි අර්ථය පහදා දෙන්නෙමු” යි කීහ. රජු උත්තර දෙමින්, “නුඹලා කල් ගැනීමට උත්සාහ දරන බැව් නිසැකයෙන් ම මම දනිමි. මන්ද මගේ වචනය ස්ථිර වග නුඹලාට පෙනේ. නුඹලා මට සිහිනය නො කීවොත් නුඹලාට ඇත්තේ එක ම නියමයක් පමණි. තත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තුව මා ඉදිරියේ බොරු කතා හා රැවටිලිකාර වචන කියන්නට නුඹලා එකඟ වෙලා. එබැවින් මට සිහිනය කියනු; එවිට එහි අර්ථය දැක්වීමට නුඹලා සමත් වග මට දැනගත හැකි” යි කීවේ ය. කල්දිවරු රජුට පිළිතුරු දෙමින්, “රජතුමාගේ අභියෝගය භාරගැනීමට සමත් කිසිවකු මේ දියත නැත. කෙතරම් ශ්‍රේෂ්ඨ, කෙතරම් ප්‍රබල වූවත්, කිසි රජකු ඉන්ද්‍රජාලිකයින්ගෙන්වත්, මන්ත්‍රකරුවන්ගෙන්වත්, කල්දිවරුන්ගෙන්වත් මෙබඳු දෙයක් කිසි කලෙක අසා නැත. රජතුමා අසන දේ ඉතා අසීරු ය. දෙවිවරුන්ට මිස, රජතුමාට එය එළිදරවු කිරීමට කිසිවකුටත් නුපුළුවන. දෙවිවරු මිනිසුන් අතර නො වෙසෙති” යි කීහ. එයින් රජු කෝපයෙන් කොතරම් සැහැසි වී ද යත්, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් විනාශ කර දමන ලෙස නියෝග කළේ ය. එබැවින් ප්‍රාඥයින් මරා දමන ලෙසට ආඥාවක් නිකුත් කෙරිණි. දානියෙල් හා ඔහුගේ මිතුරන් මරා දමනු පිණිස, ඔවුන් සොයන්නට ද මිනිසුන් පිටත් කෙරිණ. රජුගේ ආරක්ෂක ප්‍රධානී, අරියොක් බබිලෝනියේ ප්‍රාඥයින් මරන පිණිස පිටත් ව ගිය කල, දානියෙල් ප්‍රඥාවත් ව හා උපායශීලී ව ඔහුට කතා කළේ ය. රජුගේ ප්‍රධාන නිලධාරී වන අරියොක් ඇමතූ ඔහු, “රජතුමා මෙතරම් දැඩි ආඥාවක් නිකුත් කළේ මන්දැ?” යි ඇසී ය. එවිට අරියොක්, දානියෙල්ට කාරණය විස්තර කළේ ය. එකල දානියෙල් රජු වෙත ගොස්, සිහිනේ අර්ථය රජුට පහදා දෙන පිණිස කල් ඉල්ලුවේ ය. ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය. එදින රැයේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරවු කෙරිණ. එවිට දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, මෙසේ කීවේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්‍රශංසා වේවා. ප්‍රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය. උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක. උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක. උන්වහන්සේ පඬිවරුනට ප්‍රඥාවත්, නැණවතුනට දැනගැන්මත් දෙන සේක. උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්, අඳුරේ ඇති දෑ දන්නා සේක. ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි. මගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, මම ඔබට ස්තූතියත්, ප්‍රශංසාවත් දෙන්නෙමි. ප්‍රඥාවත්, බලයත් ඔබ මට දුන් සේක. අප ඔබගෙන් ඉල්ලූ දේ ඔබ මට දැනගන්නට සැලසූ සේක. රජුගේ සිහිනය ඔබ අපට දැනගන්නට සැලසූ සේක.” ඉන්පසු දානියෙල්, අරියොක් වෙත ගියේ ය. බබිලෝනියේ ප්‍රාඥයින් මරා දැමීමට රජු විසින් පත් කරනු ලැබ සිටියේ ඔහු ය. ගොස්, ඔහු ඇමතූ දානියෙල්, “බබිලෝනියේ ප්‍රඥාවන්තයින් මරණයට පත් කරන්න එපා. රජු වෙත මා ගෙන යන්න. මම රජුට ඔහුගේ සිහිනයේ අර්ථය පහදා දෙන්නෙමි” යි කීවේ ය. එකල රජු ඉදිරියට වහා දානියෙල් කැඳවාගෙන ගිය අරියොක්, රජු අමතමින්, “රජතුමාගේ සිහිනයේ අර්ථය පෙන්වා දිය හැකි කෙනකු යූදා රටේ පිටුවහලුන් අතරේ මට හමු වුණා” යි කීවේ ය. බේල්ටෙෂසර් යනුවෙන් හැඳින්වුණු දානියෙල් ඇමතූ රජු, “මගේ සිහිනයේදී මා දුටු දෑ මට කියා, එහි අරුත් පහදා දෙන්නට ඔබට හැකි දැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “රජතුමා අසා ඇති අබිරහස පැහැදිලි කරන්නට සමත් පඬිවරයකු, මන්ත්‍රකරුවකු, ඉන්ද්‍රජාලිකයකු හෝ නක්ෂත්‍රඥයකු නැත. එහෙත්, අබිරහස් එළිදරවු කරන දෙවියන්වහන්සේ කෙනකු ස්වර්ගයෙහි සිටින සේක. මතු දවස්හි සිදු වන්නට යන දේ කවරේදැයි උන්වහන්සේ නෙබුකද්නෙසර් රජුට හෙළි කර ඇත. ඔබේ යහනෙහි ඔබ සැතපී සිටියදී, ඔබේ මනසේ ඇඳුණු ඔබේ සිහිනය හා දර්ශන මෙසේ ය; “අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය. “ඔබ බලා සිටින විට අහෝ රජතුමනි, මෙන්න විසල් පිළිමයක්! එම පිළිමය ප්‍රබල, අතිශය දීප්තියකින් යුතු ව ඔබ ඉදිරිපිට සිටගෙන. එහි පෙනුම භයංකරයි. පිළිමයේ හිස අමිශ්‍ර රනෙනි; එහි ළය හා අත් රිදීයෙනි; එහි උදරය හා කලවා ලෝකඩයෙනි. එහි කකුල් යකඩිනි. එහි පාද කොටසක් යකඩින් හා කොටසක් මැටියෙනි. ඔබ බලා සිටියදී මිනිස් අතින් තොර ව, කන්දෙන් ගල්-කුට්ටියක් කැපී අවුත්, යකඩ හා මැට්ටෙන් සැදුණු පිළිම-පාවලට ගසා, ඒවා පොඩි පට්ටම් කර දැමී ය. එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රන් ද එක ම විටෙක කැබලි කරනු ලදුව, ගිම්හානයේ කමතක බොල් පොතු මෙන් විණි. සුළඟ ඒවා ඉවත ගසා ගෙන ගියේ, එහි අංශු මාත්‍රයකුදු ඉතිරි නො කරමිනි. එහෙත් පිළිමයට ගැසූ ගල, මහා කන්දක් බවට පත් ව, මුළු පොළෝ තලය ම පුරවාලී ය. “සිහිනය වූයේ එයයි; දැන් අපි රජුට එහි අරුත පහදා දෙන්නෙමු. අහෝ රජ්ජුරුවනි, ඔබ රජවරුන්ගේත් රජ්ජුරුවොයි; ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඔබට රාජාධිපත්‍යය ද බලය හා පරාක්‍රමය ද තේජස ද දී ඇත. හැම තැනක වෙසෙන මිනිසුන් ද පොළොවේ සතුන් හා අහසේ පක්ෂීන් ද උන්වහන්සේ ඔබේ අත යට තබා, ඒ හැමගේ පාලකයා කොට ඔබ පත් කොට ඇත; රනින් සැදි හිස ඔබයි. “ඔබෙන් පසුව ඔබේ රාජ්‍යයට වඩා බලයෙන් හීන වෙනත් රාජ්‍යයක් නැගිට එනු ඇත. ඉන්පසු ලෝකඩ වැනි තුන් වන රාජ්‍යයක් මේ මුළු පොළෝ තලය ම පාලන කරනු ඇත. අවසානයේදී යකඩ මෙන් සවිමත් සතර වන රාජ්‍යයක් වන්නේ ය. යකඩ, හැම දෙයක් ම සිඳ-බිඳ විසුණු කර දමයි. මෙසේ සියල්ල සුන්බුන් කර දමන යකඩ පරිදි, එම රාජ්‍යය අන් සියල්ල සිඳ-බිඳ සුන් කර දමනු ඇත. ඔබ දුටු පරිදි පා සහ පා-ඇඟිලි කොටසක් කුම්භකරුගේ මැටි හා කොටසක් යකඩ බැවින් මෙය බෙදුණු රාජ්‍යයක් වන්නේ ය. එහෙත් ඔබ දුටු පරිදි මැටි සමඟ යකඩ මිශ්‍ර ව තිබූ හෙයින් යකඩවල වූ කිසියම් ශක්තියක් ඒ තුළ තිබෙනු ඇත. පා-ඇඟිලි කොටසක් යකඩ හා කොටසක් මැටි වූ සේ මෙම රාජ්‍යයේ කොටසක් ශක්තිමත් ද කොටසක් කැඩෙන සුළු ද වන්නේ ය. යකඩ, සෞම්‍ය මැටි සමඟ මිශ්‍ර වනු ඔබ දුටු අයුරු ජනයා ද විවාහයෙන් මිශ්‍ර වනු ඇත. එහෙත් යකඩ හා මැටි මිශ්‍ර ව නො පවතින සේ ඔවුන් එකට බැඳී නො සිටිනු ඇත. “එම රජුගේ කාලයේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසි කලෙක විනාශ කළ නො හැකි රාජ්‍යයක් පිහිටු වන සේක. එම රාජ්‍යය වෙනත් ජනතාවක් අතට පත් වන්නේ නැත. අන් සියලු රාජ්‍යයන් පොඩි පට්ටම් කර, කෙළවර කර දමන එම රාජ්‍යය සදහට ම පවතිනු ඇත. මිනිස් අතින් තොර ව, කන්දකින් කැපී ආ පර්වතයේ අරුත–යකඩ, ලෝකඩ, මැටි, රිදී හා රන් බිඳ දැමූ පර්වතයක දර්ශනයේ අරුත එයයි. “මතු අනාගතයේ සිදුවන දෑ උත්තම දෙවියන්වහන්සේ රජුට පෙන්වා දී ඇත. සිහිනය සැබෑ ය. එහි අර්ථ විවරණයත් විශ්වසනීය යැ” යි කීවේ ය. එවිට නෙබුකද්නෙසර් රජ, දානියෙල් ඉදිරියේ වැඳ වැටී, ගරු බුහුමන් දක්වා ඔහුට පූජාවක් ද සුවඳ දුම් ද පිළිගන්වන ලෙස නියෝග කළේ ය. රජු දානියෙල් අමතමින්, “සැබවින් ම ඔබේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ ය; රජවරුන්ගේ ස්වාමියාණෝ ය; අභිරහස් එළිදරවු කරන්නාණෝ ය. මන්ද මේ අභිරහස එළිදරවු කරන්නට ඔබ සමත් විණැ” යි කීවේ ය.
දානියෙල් 2:1-47 Sinhala Revised Old Version (SROV)
නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය. එවිට රජුගේ ස්වප්න රජුට දන්වන පිණිස මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් මායාකාරයන්ටත් කල්දිවරුන්ටත් අඬගසන්ට රජ අණකෙළේය. ඔව්හු ඇවිත් රජු ඉදිරියෙහි සිටියෝය. රජද: මා ස්වප්නයක් දැක, ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැලඹී තිබේයයි ඔවුන්ට කීය. කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය. රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද නුඹලා මට නොදැන්නුවොත්, නුඹලා කැබෙලිකොට, නුඹලාගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය. එහෙත් ස්වප්නයද එහි අර්ථයද නුඹලා පෙන්වාදෙන්නහු නම්, නුඹලාට තෑගි හා විපාකද බොහෝ ගෞරවයද මාගෙන් ලැබෙනවා ඇත. එබැවින් ස්වප්නයද එහි අර්ථයද මට පෙන්වන්නැයි කීවේය. ඔව්හු දෙවෙනි වර උත්තරදෙමින්: රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කියත්වා, එවිට අපි අර්ථය පෙන්වන්නෙමුයයි කීවෝය. රජ උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගිය බව නුඹලාට පෙනෙන හෙයින් නුඹලා කල් ගන්ට කැමැති බව සත්තකලෙසම දනිමි. නුඹලා ස්වප්නය මට නොදැන්නුවොත්, නුඹලාට ඇත්තේ එක නියමයක්ය. කාලය වෙනස්වෙන තුරු, නුඹලා මා ඉදිරියෙහි කියන්ට බොරුවූ ප්‍රයෝග වචන යොදාගන හිඳිනහුය. එබැවින් ස්වප්නය මට කියන්න, එවිට නුඹලාට එහි අර්ථය පෙන්වන්ට පුළුවන් බව මට දැනෙනවා ඇතැයි කීවේය. කල්දිවරු රජු ඉදිරියෙහි උත්තරදෙමින්: රජුගේ කාරණය පෙන්වන්ට පුළුවන් මනුෂ්‍යයෙක් පොළොව මතුපිට ඇත්තේ නැත. කිසිම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි කාරණයක් මන්ත්‍රකාරයෙකුගෙන්වත් අනවිනකාරයෙකුගෙන්වත් කල්දියයෙකුගෙන්වත් විචාරා නැත. රජ්ජුරුවන් විචාරන දේ ඉතා අමාරු එකකි, මනුෂ්‍යයන් සමඟ වාසය නොකරන දෙවිවරුන්ට මිස රජු ඉදිරියෙහි ඒක පෙන්වන්ට පුළුවන් වෙන කිසිවෙක් නැතැයි කීවෝය. එබැවින් රජ කිපී ඉතා උදහස්වී, බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට අණකෙළේය. මෙසේ ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝග නිකුත්විය; එහෙයින් ඔව්හු දානියෙල් සහ ඔහුගේ සමාගම්කාරයන් මරන්ට සෙවුවෝය. එකල දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත්ව ආ රජුගේ මුරකාරයන්ගේ ප්‍රධානියාවූ අරියොක්ට නුවණින්ද සිහියෙන්ද උත්තරදුන්නේය; ඔහු රජුගේ ඇමතියාවූ අරියොක්ට කථාකොට: මෙතරම් තද නියෝගයක් රජු වෙතින් පැමුණුණේ මක්නිසාදැයි ඇසුවේය. එකල අරියොක් ඒ කාරණය දානියෙල්ට දැන්විය. දානියෙල් ඇතුළට ගොස්, අර්ථය රජුට පෙන්වාදෙන පිණිස තමාට කල්දෙන හැටියට රජුගෙන් ඉල්ලුවේය. එකල දානියෙල් තමාගේ ගෙදරට ගොස්, තමාගේ සමාගම්කාරයන්වූ හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් ඒ කාරණය දන්වා, තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය. එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය. දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය. කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය. ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය. මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය. ඒ නිසා දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට රජු විසින් පත්කරනු ලැබූ අරියොක් ළඟට ගොස් ඇතුල්වී, ඔහුට කථාකොට: බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකර නොදමා, රජු ඉදිරියට මා පමුණුවන්න, ඒ අර්ථය රජුට පෙන්වමියි කීවේය. එකල අරියොක් තෙමේ දානියෙල් රජු ඉදිරියට ඉක්මනින් කැඳවාගෙන ගොස්, රජුට කථාකොට: යූදා රටෙන් අල්ලාගන ආ තැනැත්තන් අතරෙහි රජුට අර්ථය දන්වන මනුෂ්‍යයෙක් මට සම්බවීයයි කීවේය. රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය. දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන; නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය: රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ. මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය. රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය. ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව, ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය. අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලාසිටියෙහිය. එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය. ස්වප්නය ඒකය; එහි අර්ථය රජු ඉදිරියේ කියන්නෙමුව. රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ. මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය. ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ. සතරවෙනි රාජ්‍යය යකඩ මෙන් බලවත්වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩිකර සුණුකරයි. යකඩෙන් සුණුකරන්නාක් මෙන් ඒ රාජ්‍යය ඒ සියල්ල පොඩිකර සුණු කරනවා ඇත. පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය. පාදවල ඇඟිලිවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණාක්මෙන්, ඒ රාජ්‍යයෙන් කොටසක් සවිවන්නේය, කොටසක් බිඳී යන්නේය. යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, ඔව්හු මනුෂ්‍ය ජාතීන් සමඟ මිශ්‍රවන්නෝය; එහෙත් යකඩ මැටි සමඟ මිශ්‍ර නොවන්නාක්මෙන් ඔව්හු එකිනෙකාට ඇලී නොසිටින්නෝය. ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය; අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැළවී ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්රන්ද පොඩිකරනවා ඔබ දුටු හෙයින්, ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය. මහෝත්තම දෙවියන්වහන්සේ මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑය, එහි අර්ථයද සත්තකයයි කීවේය. එකල නෙබුකද්නෙශර් රජ මුහුණින් වැටී, දානියෙල්ට වැඳ, ආහාර පූජාවක්ද සුවඳ ද්‍රව්‍යද ඔහුට පූජාකරන්ට අණකෙළේය. රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේ ය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.
දානියෙල් 2:1-47 Sinhala New Revised Version (NRSV)
නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය. එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය. ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය. එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ. රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි. එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය. ඔව්හු දෙ වන වර උත්තර දෙමින්, “රජතුමා තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කුමක් දැ යි කියාවා; එවිට අපි එහි තේරුම දන්වන්නෙමු”යි කී හ. රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි. ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය. ඔව්හු පිළිතුරු දෙමින්, “රජුගේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට හැකි සමතෙක් මේ මුළු පොළෝ තලයෙහි ඇත්තේ නැත. ඇරත්, කිසි ම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි ඉල්ලීමක් මන්ත්‍රකාරයෙකුගෙන් වත් අනවිනකාරයෙකුගෙන් වත්, දෛවඥයෙකුගෙන් වත් කර නැත. රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ. එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ. ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය. බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර, “මෙතරම් තද නියෝගයක් රජතුමා පනවා ඇත්තේ මන්දැ”යි ඇසී ය. අරියොක් ඒ කාරණය දානියෙල්ට විස්තර කර දුන්නේ ය. එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය. එකල දානියෙල් ගෙදර ගොස් තමාගේ සහායකයන් වන හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් කරුණු සැළ කොට, ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය. එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය. කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය. ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත. මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.” එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, “බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය. එකල අරියොක් තෙමේ රජු ඉදිරියට දානියෙල් හනික කැඳවාගෙන ගොස්, “ජුදා රටෙන් අල්ලාගෙන ආ අය අතරෙහි, රජතුමාගේ සිහිනයේ තේරුම කියන්න පුළුවන් කෙනෙකු මට සම්බ වී ය”යි කී ය. රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය. දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්‍රවන්තයන්ටත්, අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය. එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය: “රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ. මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.” “රජතුමනි, ඔබ අතිවිශාල රූපයක් දුටුවෙහි ය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියෙහි තිබුණේ ය. එහි පෙනීම භයංකාර ය. ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී. ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය. එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය. “එය ය, ඔබ දුටු ස්වප්න ය. දැන් එහි තේරුම රජ්ජුරුවන්ට මම කියා දෙන්නෙමි. රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ. සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය. ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය. යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය. ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය. පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය. යකඩ මැටි මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු ලෙස මනුෂ්‍යයෝ විවාහයෙන් මිශ්‍ර වන්නෝ ය. එහෙත්, යකඩ හා මැටි මිශ්‍ර නොවන සේ ඔව්හු එකට බැඳී නොසිටිති. ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය. අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.” එකල නෙබුකද්නෙශර් මුණින් වැටී, දානියෙල්ට වැඳ, ඔහුට පූජාවක් ඔප්පු කරන්නට ද සුවඳ දුම් අල්ලන්නට ද අණ කෙළේ ය. රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
දානියෙල් 2:1-47 New International Version (NIV)
In the second year of his reign, Nebuchadnezzar had dreams; his mind was troubled and he could not sleep. So the king summoned the magicians, enchanters, sorcerers and astrologers to tell him what he had dreamed. When they came in and stood before the king, he said to them, “I have had a dream that troubles me and I want to know what it means.” Then the astrologers answered the king, “May the king live forever! Tell your servants the dream, and we will interpret it.” The king replied to the astrologers, “This is what I have firmly decided: If you do not tell me what my dream was and interpret it, I will have you cut into pieces and your houses turned into piles of rubble. But if you tell me the dream and explain it, you will receive from me gifts and rewards and great honor. So tell me the dream and interpret it for me.” Once more they replied, “Let the king tell his servants the dream, and we will interpret it.” Then the king answered, “I am certain that you are trying to gain time, because you realize that this is what I have firmly decided: If you do not tell me the dream, there is only one penalty for you. You have conspired to tell me misleading and wicked things, hoping the situation will change. So then, tell me the dream, and I will know that you can interpret it for me.” The astrologers answered the king, “There is no one on earth who can do what the king asks! No king, however great and mighty, has ever asked such a thing of any magician or enchanter or astrologer. What the king asks is too difficult. No one can reveal it to the king except the gods, and they do not live among humans.” This made the king so angry and furious that he ordered the execution of all the wise men of Babylon. So the decree was issued to put the wise men to death, and men were sent to look for Daniel and his friends to put them to death. When Arioch, the commander of the king’s guard, had gone out to put to death the wise men of Babylon, Daniel spoke to him with wisdom and tact. He asked the king’s officer, “Why did the king issue such a harsh decree?” Arioch then explained the matter to Daniel. At this, Daniel went in to the king and asked for time, so that he might interpret the dream for him. Then Daniel returned to his house and explained the matter to his friends Hananiah, Mishael and Azariah. He urged them to plead for mercy from the God of heaven concerning this mystery, so that he and his friends might not be executed with the rest of the wise men of Babylon. During the night the mystery was revealed to Daniel in a vision. Then Daniel praised the God of heaven and said: “Praise be to the name of God for ever and ever; wisdom and power are his. He changes times and seasons; he deposes kings and raises up others. He gives wisdom to the wise and knowledge to the discerning. He reveals deep and hidden things; he knows what lies in darkness, and light dwells with him. I thank and praise you, God of my ancestors: You have given me wisdom and power, you have made known to me what we asked of you, you have made known to us the dream of the king.” Then Daniel went to Arioch, whom the king had appointed to execute the wise men of Babylon, and said to him, “Do not execute the wise men of Babylon. Take me to the king, and I will interpret his dream for him.” Arioch took Daniel to the king at once and said, “I have found a man among the exiles from Judah who can tell the king what his dream means.” The king asked Daniel (also called Belteshazzar), “Are you able to tell me what I saw in my dream and interpret it?” Daniel replied, “No wise man, enchanter, magician or diviner can explain to the king the mystery he has asked about, but there is a God in heaven who reveals mysteries. He has shown King Nebuchadnezzar what will happen in days to come. Your dream and the visions that passed through your mind as you were lying in bed are these: “As Your Majesty was lying there, your mind turned to things to come, and the revealer of mysteries showed you what is going to happen. As for me, this mystery has been revealed to me, not because I have greater wisdom than anyone else alive, but so that Your Majesty may know the interpretation and that you may understand what went through your mind. “Your Majesty looked, and there before you stood a large statue—an enormous, dazzling statue, awesome in appearance. The head of the statue was made of pure gold, its chest and arms of silver, its belly and thighs of bronze, its legs of iron, its feet partly of iron and partly of baked clay. While you were watching, a rock was cut out, but not by human hands. It struck the statue on its feet of iron and clay and smashed them. Then the iron, the clay, the bronze, the silver and the gold were all broken to pieces and became like chaff on a threshing floor in the summer. The wind swept them away without leaving a trace. But the rock that struck the statue became a huge mountain and filled the whole earth. “This was the dream, and now we will interpret it to the king. Your Majesty, you are the king of kings. The God of heaven has given you dominion and power and might and glory; in your hands he has placed all mankind and the beasts of the field and the birds in the sky. Wherever they live, he has made you ruler over them all. You are that head of gold. “After you, another kingdom will arise, inferior to yours. Next, a third kingdom, one of bronze, will rule over the whole earth. Finally, there will be a fourth kingdom, strong as iron—for iron breaks and smashes everything—and as iron breaks things to pieces, so it will crush and break all the others. Just as you saw that the feet and toes were partly of baked clay and partly of iron, so this will be a divided kingdom; yet it will have some of the strength of iron in it, even as you saw iron mixed with clay. As the toes were partly iron and partly clay, so this kingdom will be partly strong and partly brittle. And just as you saw the iron mixed with baked clay, so the people will be a mixture and will not remain united, any more than iron mixes with clay. “In the time of those kings, the God of heaven will set up a kingdom that will never be destroyed, nor will it be left to another people. It will crush all those kingdoms and bring them to an end, but it will itself endure forever. This is the meaning of the vision of the rock cut out of a mountain, but not by human hands—a rock that broke the iron, the bronze, the clay, the silver and the gold to pieces. “The great God has shown the king what will take place in the future. The dream is true and its interpretation is trustworthy.” Then King Nebuchadnezzar fell prostrate before Daniel and paid him honor and ordered that an offering and incense be presented to him. The king said to Daniel, “Surely your God is the God of gods and the Lord of kings and a revealer of mysteries, for you were able to reveal this mystery.”