දානියෙල් 2

2
රජුගේ සිහින
1නෙබුකද්නෙසර්ගේ රාජ්‍ය සමයේ, දෙවන වසරේ නෙබුකද්නෙසර් සිහින දුටුවේ ය. ඔහුගේ සිත කැලඹිණි. ඔහුගේ නින්ද ඔහු හැර ගියේ ය. 2එබැවින් රජු, තමා දුටු සිහින කවරේදැයි තමාට කියා දෙන පිණිස, ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද අනවිනකරුවන් හා කල්දිවරුන් ද කැඳවීමට නියෝග කළේ ය. එබැවින් ඔවුන් අවුත්, රජු අබියස සිටගත් කල, 3රජ ඔවුන් අමතමින්, “මට සිහිනයක් පෙනුණා. ඒ සිහිනය දැනගැනීමට මගේ ආත්මය කැලඹිලා” යි කීවේ ය.
4එවිට අරාම් බසින් රජු ඇමතූ කල්දිවරු, “සැම කල් දිනේවා අහෝ රජතුමනි! ඔබේ සේවකයින්ට සිහිනය පවසන්න. එවිට අපි එහි අරුත කියා දෙන්නෙමු” යි කීවෝ ය.
5රජු කල්දිවරුන්ට පිළිතුරු දෙමින්, “නියතයෙන් ම මගේ වචනය ස්ථිරයි. මගේ සිහිනය කුමක් ද යන්නත්, එහි තේරුම කුමක් ද යන්නත් නුඹලා මට නො කීවොත් අවයවයෙන් අවයවය නුඹලාගෙන් ඉරා දමනු ලැබේ. නුඹලාගේ නිවෙස් ද සුන්බුන් ගොඩවල් බවට පත් කෙරේ. 6එහෙත් නුඹලා මට සිහිනය පවසා, එය පහදා දුනහොත් නුඹලාට මගේ ත්‍යාග ද පාරිතෝෂ ද ඉමහත් ගෞරවයක් ද ලැබේ. එබැවින් දැන් සිහිනය මට පවසා, එහි අරුත් පහදා දෙනු” යි පැවසී ය.
7ඔවුහු දෙවන වරටත් රජුට පිළිතුරු දෙමින්, “රජතුමා තම සේවකයිනට සිහිනය පවසත්වා! එවිට අපි එහි අර්ථය පහදා දෙන්නෙමු” යි කීහ.
8රජු උත්තර දෙමින්, “නුඹලා කල් ගැනීමට උත්සාහ දරන බැව් නිසැකයෙන් ම මම දනිමි. මන්ද මගේ වචනය ස්ථිර වග නුඹලාට පෙනේ. 9නුඹලා මට සිහිනය නො කීවොත් නුඹලාට ඇත්තේ එක ම නියමයක් පමණි. තත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තුව මා ඉදිරියේ බොරු කතා හා රැවටිලිකාර වචන කියන්නට නුඹලා එකඟ වෙලා. එබැවින් මට සිහිනය කියනු; එවිට එහි අර්ථය දැක්වීමට නුඹලා සමත් වග මට දැනගත හැකි” යි කීවේ ය.
10කල්දිවරු රජුට පිළිතුරු දෙමින්, “රජතුමාගේ අභියෝගය භාරගැනීමට සමත් කිසිවකු මේ දියත නැත. කෙතරම් ශ්‍රේෂ්ඨ, කෙතරම් ප්‍රබල වූවත්, කිසි රජකු ඉන්ද්‍රජාලිකයින්ගෙන්වත්, මන්ත්‍රකරුවන්ගෙන්වත්, කල්දිවරුන්ගෙන්වත් මෙබඳු දෙයක් කිසි කලෙක අසා නැත. 11රජතුමා අසන දේ ඉතා අසීරු ය. දෙවිවරුන්ට මිස, රජතුමාට එය එළිදරවු කිරීමට කිසිවකුටත් නුපුළුවන. දෙවිවරු මිනිසුන් අතර නො වෙසෙති” යි කීහ.
12එයින් රජු කෝපයෙන් කොතරම් සැහැසි වී ද යත්, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් විනාශ කර දමන ලෙස නියෝග කළේ ය. 13එබැවින් ප්‍රාඥයින් මරා දමන ලෙසට ආඥාවක් නිකුත් කෙරිණි. දානියෙල් හා ඔහුගේ මිතුරන් මරා දමනු පිණිස, ඔවුන් සොයන්නට ද මිනිසුන් පිටත් කෙරිණ.
14රජුගේ ආරක්ෂක ප්‍රධානී, අරියොක් බබිලෝනියේ ප්‍රාඥයින් මරන පිණිස පිටත් ව ගිය කල, දානියෙල් ප්‍රඥාවත් ව හා උපායශීලී ව ඔහුට කතා කළේ ය. 15රජුගේ ප්‍රධාන නිලධාරී වන අරියොක් ඇමතූ ඔහු, “රජතුමා මෙතරම් දැඩි ආඥාවක් නිකුත් කළේ මන්දැ?” යි ඇසී ය. එවිට අරියොක්, දානියෙල්ට කාරණය විස්තර කළේ ය. 16එකල දානියෙල් රජු වෙත ගොස්, සිහිනේ අර්ථය රජුට පහදා දෙන පිණිස කල් ඉල්ලුවේ ය.
17ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. 18බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය. 19එදින රැයේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරවු කෙරිණ. එවිට දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, 20මෙසේ කීවේ ය:
“දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්‍රශංසා වේවා.
ප්‍රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය.
21උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක.
උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක.
උන්වහන්සේ පඬිවරුනට ප්‍රඥාවත්,
නැණවතුනට දැනගැන්මත් දෙන සේක.
22උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්,
අඳුරේ ඇති දෑ දන්නා සේක.
ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි.
23මගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, මම ඔබට ස්තූතියත්, ප්‍රශංසාවත් දෙන්නෙමි.
ප්‍රඥාවත්, බලයත් ඔබ මට දුන් සේක.
අප ඔබගෙන් ඉල්ලූ දේ ඔබ මට දැනගන්නට සැලසූ සේක.
රජුගේ සිහිනය ඔබ අපට දැනගන්නට සැලසූ සේක.”
සිහිනය හා අරුත
24ඉන්පසු දානියෙල්, අරියොක් වෙත ගියේ ය. බබිලෝනියේ ප්‍රාඥයින් මරා දැමීමට රජු විසින් පත් කරනු ලැබ සිටියේ ඔහු ය. ගොස්, ඔහු ඇමතූ දානියෙල්, “බබිලෝනියේ ප්‍රඥාවන්තයින් මරණයට පත් කරන්න එපා. රජු වෙත මා ගෙන යන්න. මම රජුට ඔහුගේ සිහිනයේ අර්ථය පහදා දෙන්නෙමි” යි කීවේ ය.
25එකල රජු ඉදිරියට වහා දානියෙල් කැඳවාගෙන ගිය අරියොක්, රජු අමතමින්, “රජතුමාගේ සිහිනයේ අර්ථය පෙන්වා දිය හැකි කෙනකු යූදා රටේ පිටුවහලුන් අතරේ මට හමු වුණා” යි කීවේ ය.
26බේල්ටෙෂසර් යනුවෙන් හැඳින්වුණු දානියෙල් ඇමතූ රජු, “මගේ සිහිනයේදී මා දුටු දෑ මට කියා, එහි අරුත් පහදා දෙන්නට ඔබට හැකි දැ?” යි ඇසී ය.
27දානියෙල් පිළිතුරු දෙමින්, “රජතුමා අසා ඇති අබිරහස පැහැදිලි කරන්නට සමත් පඬිවරයකු, මන්ත්‍රකරුවකු, ඉන්ද්‍රජාලිකයකු හෝ නක්ෂත්‍රඥයකු නැත. 28එහෙත්, අබිරහස් එළිදරවු කරන දෙවියන්වහන්සේ කෙනකු ස්වර්ගයෙහි සිටින සේක. මතු දවස්හි සිදු වන්නට යන දේ කවරේදැයි උන්වහන්සේ නෙබුකද්නෙසර් රජුට හෙළි කර ඇත. ඔබේ යහනෙහි ඔබ සැතපී සිටියදී, ඔබේ මනසේ ඇඳුණු ඔබේ සිහිනය හා දර්ශන මෙසේ ය;
29“අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. 30මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය.
31“ඔබ බලා සිටින විට අහෝ රජතුමනි, මෙන්න විසල් පිළිමයක්! එම පිළිමය ප්‍රබල, අතිශය දීප්තියකින් යුතු ව ඔබ ඉදිරිපිට සිටගෙන. එහි පෙනුම භයංකරයි. 32පිළිමයේ හිස අමිශ්‍ර රනෙනි; එහි ළය හා අත් රිදීයෙනි; එහි උදරය හා කලවා ලෝකඩයෙනි. 33එහි කකුල් යකඩිනි. එහි පාද කොටසක් යකඩින් හා කොටසක් මැටියෙනි. 34ඔබ බලා සිටියදී මිනිස් අතින් තොර ව, කන්දෙන් ගල්-කුට්ටියක් කැපී අවුත්, යකඩ හා මැට්ටෙන් සැදුණු පිළිම-පාවලට ගසා, ඒවා පොඩි පට්ටම් කර දැමී ය. 35එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රන් ද එක ම විටෙක කැබලි කරනු ලදුව, ගිම්හානයේ කමතක බොල් පොතු මෙන් විණි. සුළඟ ඒවා ඉවත ගසා ගෙන ගියේ, එහි අංශු මාත්‍රයකුදු ඉතිරි නො කරමිනි. එහෙත් පිළිමයට ගැසූ ගල, මහා කන්දක් බවට පත් ව, මුළු පොළෝ තලය ම පුරවාලී ය.
36“සිහිනය වූයේ එයයි; දැන් අපි රජුට එහි අරුත පහදා දෙන්නෙමු. 37අහෝ රජ්ජුරුවනි, ඔබ රජවරුන්ගේත් රජ්ජුරුවොයි; ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඔබට රාජාධිපත්‍යය ද බලය හා පරාක්‍රමය ද තේජස ද දී ඇත. 38හැම තැනක වෙසෙන මිනිසුන් ද පොළොවේ සතුන් හා අහසේ පක්ෂීන් ද උන්වහන්සේ ඔබේ අත යට තබා, ඒ හැමගේ පාලකයා කොට ඔබ පත් කොට ඇත; රනින් සැදි හිස ඔබයි.
39“ඔබෙන් පසුව ඔබේ රාජ්‍යයට වඩා බලයෙන් හීන වෙනත් රාජ්‍යයක් නැගිට එනු ඇත. ඉන්පසු ලෝකඩ වැනි තුන් වන රාජ්‍යයක් මේ මුළු පොළෝ තලය ම පාලන කරනු ඇත. 40අවසානයේදී යකඩ මෙන් සවිමත් සතර වන රාජ්‍යයක් වන්නේ ය. යකඩ, හැම දෙයක් ම සිඳ-බිඳ විසුණු කර දමයි. මෙසේ සියල්ල සුන්බුන් කර දමන යකඩ පරිදි, එම රාජ්‍යය අන් සියල්ල සිඳ-බිඳ සුන් කර දමනු ඇත. 41ඔබ දුටු පරිදි පා සහ පා-ඇඟිලි කොටසක් කුම්භකරුගේ මැටි හා කොටසක් යකඩ බැවින් මෙය බෙදුණු රාජ්‍යයක් වන්නේ ය. එහෙත් ඔබ දුටු පරිදි මැටි සමඟ යකඩ මිශ්‍ර ව තිබූ හෙයින් යකඩවල වූ කිසියම් ශක්තියක් ඒ තුළ තිබෙනු ඇත. 42පා-ඇඟිලි කොටසක් යකඩ හා කොටසක් මැටි වූ සේ මෙම රාජ්‍යයේ කොටසක් ශක්තිමත් ද කොටසක් කැඩෙන සුළු ද වන්නේ ය. 43යකඩ, සෞම්‍ය මැටි සමඟ මිශ්‍ර වනු ඔබ දුටු අයුරු ජනයා ද විවාහයෙන් මිශ්‍ර වනු ඇත. එහෙත් යකඩ හා මැටි මිශ්‍ර ව නො පවතින සේ ඔවුන් එකට බැඳී නො සිටිනු ඇත.
44“එම රජුගේ කාලයේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසි කලෙක විනාශ කළ නො හැකි රාජ්‍යයක් පිහිටු වන සේක. එම රාජ්‍යය වෙනත් ජනතාවක් අතට පත් වන්නේ නැත. අන් සියලු රාජ්‍යයන් පොඩි පට්ටම් කර, කෙළවර කර දමන එම රාජ්‍යය සදහට ම පවතිනු ඇත. 45මිනිස් අතින් තොර ව, කන්දකින් කැපී ආ පර්වතයේ අරුත–යකඩ, ලෝකඩ, මැටි, රිදී හා රන් බිඳ දැමූ පර්වතයක දර්ශනයේ අරුත එයයි.
“මතු අනාගතයේ සිදුවන දෑ උත්තම දෙවියන්වහන්සේ රජුට පෙන්වා දී ඇත. සිහිනය සැබෑ ය. එහි අර්ථ විවරණයත් විශ්වසනීය යැ” යි කීවේ ය.
46එවිට නෙබුකද්නෙසර් රජ, දානියෙල් ඉදිරියේ වැඳ වැටී, ගරු බුහුමන් දක්වා ඔහුට පූජාවක් ද සුවඳ දුම් ද පිළිගන්වන ලෙස නියෝග කළේ ය. 47රජු දානියෙල් අමතමින්, “සැබවින් ම ඔබේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ ය; රජවරුන්ගේ ස්වාමියාණෝ ය; අභිරහස් එළිදරවු කරන්නාණෝ ය. මන්ද මේ අභිරහස එළිදරවු කරන්නට ඔබ සමත් විණැ” යි කීවේ ය.
48ඉන්පසු රජු, උසස් නිලයකට දානියෙල් පත් කොට, මහත් තෑගි සම්භාරයක් ද ඔහුට පිරිනැමුවේ ය. දානියෙල් මුළු බබිලෝනි පළාතට ම පාලකයා කොට පත් කළ රජු, එහි සියලු ප්‍රාඥයින්ගේ නායකත්වය ද ඔහුට පැවරී ය. 49තවද රජු, දානියෙල්ගේ ඉල්ලීම පරිදි ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ බබිලෝනි පළාතේ පරිපාලකයින් කොට පත් කළේ ය. දානියෙල් රජ මැදුරේ ම නතර ව සිටියේ ය.

දැනට තෝරාගෙන ඇත:

දානියෙල් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න