2 පේතෘස් 3:3-9

2 පේතෘස් 3:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේ ම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හි දී පැමිණෙන වගයි. ඔවුන්, “එතුමාණන් පොරොන්දු වූ පැමිණීම කෝ! අපේ පියවරුන් මැරුණු පසුත්, ලෝකය මැවූ තැන් පටන් තිබූ ලෙස හැම දේ වෙතැ” යි කියනු ඇත. ඔවුහු හිතා-මතා මේ කාරණ අමතක කරති. එනම්, දෙවියන්වහන්සේගේ වචනයෙන් ඈත අතීතයේ පටන් අහස තිබූ බවත්, ජලය මගින් ජලයෙන් ම පොළොව නිර්මාණ කරන ලද බවත්, එකල පැවති ලෝකය ඒ ජලය මගින් ම විනාශ කර දමන ලද බවත්, එම දේව වචනයෙන් ම මේ වත්මන් අහස හා පොළොව ගිනිලනු පිණිස අවසන් විනිශ්චය දවස හා අභක්තික-දුෂ්ටයින්ගේ විනාශය දක්වා වෙන් කර තබා ඇති බවත් ය. එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය. පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක් ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක.

2 පේතෘස් 3:3-9 Sinhala Revised Old Version (SROV)

අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න. මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

2 පේතෘස් 3:3-9 Sinhala New Revised Version (NRSV)

මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත. “උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?” මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්, එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති. දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති. එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න. පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක.

2 පේතෘස් 3:3-9 Sinhala New Revised Version 2018 (SNRV)