1 සාමුවෙල් 19:1-7

1 සාමුවෙල් 19:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාවුල්, තම පුත් යොනාතාන්ට හා තම සේවකයින් සියලු දෙනාට දාවිත් මරා දමන්නැයි කීවේ ය. එහෙත් සාවුල්ගේ පුත් යොනාතාන්ට දාවිත් බෙහෙවින් ප්‍රසාදජනක විය. එබැවින් යොනාතාන්, දාවිත් අමතමින්, “මගේ පියා, සාවුල්, ඔබ මරන්නට මාන බලයි. එබැවින් හෙට උදයේ පරෙස්සම් වන්න. රහස් තැනකට වී සැඟවෙන්න. එවිට මම බැද්දේ ඔබ සිටිනා තැනට අවුත්, මගේ පියා පසෙක සිට ඔහුට ඔබ ගැන කතා කරන්නම්. මට දැනගත හැකි වන දෑ මා ඔබට කියන්නම්” යැයි කීවේ ය. යොනාතාන් තම පියා වූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්, “රජතුමා තම සේවක දාවිත්ට නපුරක් නො කෙරේවා. ඔහු ඔබතුමාට වරදක් කර නෑ. ඔහු කර ඇති දෑ ඔබට බෙහෙවින් වැඩදායකයි. ඔහු අර පිලිස්තීයයා මැරූ වේලේ ඔහුගේ ජීවිතයත් පරදුවට තැබුවා. ස්වාමින්වහන්සේ මුළු මහත් ඉශ්‍රායෙල්ට ඉමහත් ජයක් ගෙන දුන්නා. ඔබත් එය දැක සොම්නස් වුණා. එසේ නම්, කිසිදු හේතුවක් නැතිව දාවිත් වැනි මිනිසකු මරා, නිදොස් ලේ ගැන පව් කරන්නේ ඇයි දැ?” යි ඇසී ය. සාවුල්, යොනාතාන්ගේ කටහඬට සවන් දුන්නේ ය. “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, දාවිත් මරනු නො ලබන්නේ යැ” යි සාවුල් දිවුළේ ය. එබැවින් දාවිත්ට හඬ ගැසූ යොනාතාන් ඒ සියලු පුවත් ඔහුට සැල කළේ ය. යොනාතාන්, සාවුල් වෙත දාවිත් කැඳවාගෙන ආවේ ය. ඔහු පෙර පරිද්දෙන් සාවුල් සමඟ සිටියේ ය.

1 සාමුවෙල් 19:1-7 Sinhala Revised Old Version (SROV)

තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය. නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් නුඹ මරන්ට සොයන්නේය. ඒ නිසා නුඹ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න. මම ඇවිත් නුඹ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට නුඹ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණා දැනගන නුඹට දන්වන්නෙමියි දාවිත්ට කීවේය. යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්‍රයෝජනවත්ය. කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය. සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය. යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.

1 සාමුවෙල් 19:1-7 Sinhala New Revised Version (NRSV)

දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය. ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න. ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය. ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?” සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය. ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.

1 සාමුවෙල් 19:1-7 Sinhala New Revised Version 2018 (SNRV)