1 සාමුවෙල් 19:1-7

1 සාමුවෙල් 19:1-7 NRSV

දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය. ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න. ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය. ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?” සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය. ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.