1 සාමුවෙල් 18:20-27

1 සාමුවෙල් 18:20-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මේ අතර සාවුල්ගේ දියණිය වූ මීකල්, දාවිත්ට පෙම් බැන්දා ය. ඒ වග සාවුල්ට සැල කරනු ලැබූ කල, එය ඔහුගේ ප්‍රසන්නතාවට හේතු විය. සාවුල් මෙසේ සිතී ය: “ඇය ඔහුට මලපතක් වන පිණිස, මම ඔහුට ඇය දෙන්නෙමි. මෙසේ පිලිස්තිවරුන්ගේ අත, ඔහුට එරෙහි වනු ඇත.” එබැවින් දාවිත් ඇමතූ සාවුල්, “මගේ බෑණන්ඩිය වීමේ දෙවන අවස්ථාවක් ඔබට ලැබී තිබේ යැ” යි කීවේ ය. සාවුල් තම සේවකයින්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට ඔහුට මෙසේ කියන්න. ‘අන්න! රජතුමා ඔබ ගැන ප්‍රසන්න වෙලා. ඔහුගේ සියලු සේවකයින්ටත් ඔබ ප්‍රියයි. එබැවින් දැන් ඔහුගේ බෑණා වන්න’ යැයි පවසන්නට” කීවේ ය. එබැවින් සාවුල්ගේ සේවකයෝ එම වචන දාවිත්ගේ කනේ තැබූහ. එහෙත් දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ සිතන්නේ රජ්ජුරුවන්ගේ බෑණනුවන් වීම සුළු දෙයක් කියා ද? දුප්පතකු වන මා කිසි කීර්තියක් ඇත්තකු නො වේ” යි කීවේ ය. සාවුල්ගේ සේවකයෝ, “දාවිත් මේ ලෙස පැවසූහ” යි සාවුල්ට කී කල, සාවුල් පිළිතුරු දෙමින්, “ ‘මනාලිය සඳහා තෑගි ගාස්තුව වශයෙන් රජ්ජුරුවන්ට වුවමනා ඔහුගේ සතුරන්ගෙන් පළි ගැනීමට පිලිස්තීන් සිය දෙනකුගේ චර්මාග්‍ර පමණි’ යැයි දාවිත්ට කියන්නැ” යි කීවේ ය. සාවුල් සිතුවේ පිලිස්තිවරුන් අතින් දාවිත් වැටී යන්නට සැලැස්වීම ය. ඔහුගේ සේවකයින් ඒ වචන දාවිත්ට සැල කළ කල්හි, රජුගේ බෑණා වන්නට ඔහු මනාප විය. වෙන් කරන ලද කාලය ගෙවෙන්නට පෙර, දාවිත් නැගිට, තමාගේ මිනිසුන් සමඟ පිටත් ව, පිලිස්තීන් දෙසිය දෙනකු මැරූහ. රජුගේ බෑණනුවන් වන පිණිස ඔහු ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඒ සම්පූර්ණ ගණන රජුට පිළිගැන්වී ය. එවිට සාවුල් තම දියණිය මීකල්, ඔහුට බිරිඳක කොට දුන්නේ ය.

1 සාමුවෙල් 18:20-27 Sinhala Revised Old Version (SROV)

තවද සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය. සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: නුඹලා දාවිත් සමඟ රහස් ලෙස කථාකොට–රජ්ජුරුවෝ නුඹ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද නුඹට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය. සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් නුඹලාට පෙනේදැයි කීවේය. සාවුල්ගේ සේවකයෝ: දාවිත් මෙලෙස කීවේය කියා ඔහුට දැන්වුවෝය. එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය. ඔහුගේ සේවකයන් මේ වචන දාවිත්ට දැන්වූ කල දාවිත් රජුගේ බෑනා වෙන්ට සතුටුවිය. ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.

1 සාමුවෙල් 18:20-27 Sinhala New Revised Version (NRSV)

ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය. එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය. සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය. සාවුල්ගේ සේවකයෝ එපවත් දාවිත්ට සැළ කළහ. දාවිත් පිළිතුරු දෙමින්, “මම නම් වැදගැම්මක් නැති දිළිඳු කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑණා වීම සුළුපටු දෙයක් නොවන බව ඔබට පෙනෙනු ඇතැ”යි කීවේ ය. සාවුල්ගේ සේවකයෝ දාවිත් කී දේ ඔහුට දැන්නූ හ. එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය. ඔහුගේ සේවකයන් මේ බව දාවිත්ට දැන්වූ කල දාවිත්, සාවුල් රජුගේ බෑණා වන්නට සතුටු විය. නියමිත කාලය ගත වන්නට පෙර, දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.

1 සාමුවෙල් 18:20-27 Sinhala New Revised Version 2018 (SNRV)