1 සාමුවෙල් 18:20-27

1 සාමුවෙල් 18:20-27 SROV

තවද සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය. සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: නුඹලා දාවිත් සමඟ රහස් ලෙස කථාකොට–රජ්ජුරුවෝ නුඹ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද නුඹට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය. සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් නුඹලාට පෙනේදැයි කීවේය. සාවුල්ගේ සේවකයෝ: දාවිත් මෙලෙස කීවේය කියා ඔහුට දැන්වුවෝය. එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය. ඔහුගේ සේවකයන් මේ වචන දාවිත්ට දැන්වූ කල දාවිත් රජුගේ බෑනා වෙන්ට සතුටුවිය. ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.