1 රාජාවලිය 14:1-31

1 රාජාවලිය 14:1-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එකල්හි යෙරොබොවම්ගේ පුත් අබියා රෝගී විය. යෙරොබොවම් තම බිරිඳ අමතමින්, “ඔබ යෙරොබොවම්ගේ බිරිඳ වග හැඳිනගන්නට බැරි වන සේ වෙස් වළා, ෂීලෝ වෙත යන්න. දිවැසිවර අහියා එහි සිටී. මේ ජනයා කෙරේ මා රජ වන වග මට පැවසූ තැනැත්තා ඔහුයි. රොටි දහයක්, රස කැවිලි හා මී පැණි බඳුනක් ගෙන, ඔහු වෙත යන්න. දරුවාට කුමක් වේ දැයි ඔහු ඔබට පවසනු ඇතැ” යි කී ය. එබැවින් යෙරොබොවම්ගේ බිරිඳ ඔහු කී පරිදි කරමින්, ෂීලෝහි අහියාගේ නිවස වෙත ගියා ය. මේ වන විට අහියාගේ ඇස් පෙනුණේ නැත. ඔහු වියපත් ව සිටි නිසා ඔහුගේ පෙනීම දුරු වී තිබුණේ ය. එහෙත් ස්වාමින්වහන්සේ අහියාට කතා කොට, මෙසේ කියා තිබුණේ ය. “යෙරොබොවම්ගේ බිරිඳ තම පුත්‍රයා ගැන ඔබෙන් විමසන්නට එන්නී ය; ඔහු සිටින්නේ රෝගීවයි. ඔබ ඇයට මේ මේ අයුරින් පිළිතුරු දිය යුතුයි. ඇය එන්නේ වෙස් වළාගෙන ය” යනුවෙනි. එබැවින් ඇය ඇතුළු වෙද්දී, ඇගේ අඩි ශබ්දය ඇසූ අහියා, “ඇතුළට එන්න; යෙරොබොවම්ගේ බිරිඳ, ඇයි මේ රඟපෑම? මා ළඟ ඇත්තේ අසුබ ආරංචියක්. ගොසින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි යෙරොබොවම්ට කියන්න: ‘ජනයා අතරෙන් මම නුඹ උසස් කොට, මගේ ජනයා වන ඉශ්‍රායෙල්හි නායකයා කොට පත් කළෙමි. දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය ඉරා, මා ඔබට දුන් නමුදු ඔබ, මගේ ආඥා රක්ෂා කළ, තමන්ගේ මුළු හදින් මා අනුගමන කළ, මගේ ඇස් හමුවේ හරි ව තිබූ දේ පමණක් කළ මගේ සේවක දාවිත් මෙන් වූයේ නැත. නුඹට පෙර සිටි සියල්ලන්ට ම වඩා නුඹ නපුර කරමින්, නුඹට ම අන් දෙවිවරුන්, ලෝහමය පිළිම සාදා ගෙන, නුඹ මා කෝපයෙන් අවුස්සා, ඔබේ පිටුපසට මා තල්ලු කර දමා ඇත. “ ‘ඒ නිසා මෙන්න, යෙරොබොවම්ගේ වංශය පිට මම විපත්තිය ගෙනෙන්නෙමි. වහල් හෝ නිවහල් වේවා යෙරොබොවම්ට අයිති ඉශ්‍රායෙල්හි අවසාන පිරිමියා දක්වා ම ඔහු වෙතින් සිඳ දමන්නෙමි. යමකු කැළි කසළ මුළුමනින් දැවී යන තුරු පුලුස්සා දමන්නාක් මෙන්, මම යෙරොබොවම්ගේ වංශය පුලුස්සා දමන්නෙමි. යෙරොබොවම්ට අයිති අයගෙන් නගරයේ මිය යන අය බල්ලන් විසින් කා දමනු ලබන්නේ ය. ඉන් පිටතදී මිය යන අය අහස් පක්ෂීන්ට ආහාර වන්නේ ය. මන්ද එසේ පැවසුවේ ස්වාමින්වහන්සේ ය.’ “දැන් ඔබ යළි ගෙදර යන්න. ඔබ, ඔබේ පුරවරයට පය තබන විට ම දරුවා මිය යනු ඇත. මුළු ඉශ්‍රායෙල් ඔහු ගැන ශෝක වී ඔහු භූමදාන කරන්නෝ ය. යෙරොබොවම්ට අයිතිවූවන්ගෙන් භූමදාන කරනු ලබන්නේ ඔහු පමණකි. මන්ද යෙරොබොවම්ගේ වංශයෙන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යම් හොඳක් හමු වූයේ ඔහු තුළ පමණි. “යෙරොබොවම්ගේ පියවංශය සිඳ දමන රජකු ස්වාමින්වහන්සේ තමන් උදෙසා ඉශ්‍රායෙල්හි නැගිටුවන සේක. ඒ දවස අදයි. ඔව්! මේ දැන්. බට ගසක් වතුරේ එහාට මෙහාට වැනෙන ලෙස ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දෙන සේක; උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් යහපත් දේශයෙන් ඉශ්‍රායෙල් මුලිනුදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමන සේක. මන්ද ඔවුහු තමන්ට අෂේරා කණු සාදා ගැනීමෙන්, ස්වාමින්වහන්සේ කෝප ගැන්වූහ. යෙරොබොවම් විසින් කර ඇති පාප නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පාප නිසාත් උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමන සේකැ” යි පැවසී ය. ඉන්පසු යෙරොබොවම්ගේ බිරිඳ නැගිට, පිටත් ව, තිර්සා වෙත ගියා ය. ඇය ගෙයි එළිපත්ත පිට අඩිය තැබූ සැණින් දරුවා මිය ගියේ ය. ස්වාමින්වහන්සේ තම සේවක දිවැසිවර අහියා මගින් පවසා තිබූ පරිදි ඉශ්‍රායෙල්වරු සියලු දෙනා ඔහු වළලා, ඔහු ගැන වැලපුණහ. යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ යුද්ධ හා ඔහු පාලනය කළ අන්දම ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඔහු වසර විසිදෙකක් රජකම් කොට, තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පුත් නාදාබ් ඔහුගෙන් පසු, රජකමට පත් විය. සාලමොන්ගේ පුත් රෙහොබොවම් යූදාහි රජ ව සිටියේ ය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. යූදා ජනයා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ නපුර ය. ඔවුහු තම පාප මගින් උන්වහන්සේගේ ඊර්ෂ්‍යා සහගත කෝපය ඇවිස්සුවේ, ඔවුන්ගේ සියලු පියවරුන් කර තිබුණාටත් වඩා වැඩියෙනි. තවද ඔවුහු හැම උස් හෙලක් පිට හා අතු පතර විහිදුණු හැම ගහක් යට තමන්ට උස් තැන් පුදසුන් ද රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. දේශය තුළ දේවාල-පිරිමි ගණිකාවන් පවා සිටියහ; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දමා තිබූ ජාතීන්ගේ සියලු පිළිකුල්කම්වල ඔවුහු ගැලුණහ. රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ, ඊජිප්තුවේ රජු වූ ෂීෂක්, යෙරුසලමට විරුද්ධ ව ආවේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ අනර්ඝ වස්තු හා රජ මැදුරේ අනර්ඝ වස්තු රැගෙන ගියේ ය. සාලමොන් සාදා තිබූ රන් පලිහ සියල්ල ඇතුළු හැම දෙයක් ම ඔහු ගෙන ගියේ ය. එබැවින් රෙහොබොවම් රජු ඒවා වෙනුවට ලෝකඩ පලිහ සාදා, රජ මැදුරු පිවිසුම ආරක්ෂකයින්ගේ සෙන්පතීන් භාරයේ ඒවා තැබී ය. රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විට, ආරක්ෂකයෝ පලිහ ඔසවාගෙන ගොස්, නැවත ඒවා ආරක්ෂක කුටිය වෙත යළි ගෙන ආහ. රෙහොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදාහි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? රෙහොබොවම් හා යෙරොබොවම් අතරේ දිගට ම යුද්ධ පැවතිණි. රෙහොබොවම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, දාවිත් පුරයේ ඔවුන් අතරේ භූමදාන කෙරිණි. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජකමට පත් විය.

1 රාජාවලිය 14:1-31 Sinhala Revised Old Version (SROV)

ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය. යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි. නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය. යෙරොබොවම්ගේ භාර්යාව එසේ කොට පිටත්වී ෂීලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය. නුමුත් ස්වාමීන්වහන්සේ අහියාට කථාකොට: බලව, යෙරොබොවම්ගේ භාර්යාව ලෙඩින් ඉන්න ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්ට එන්නීය. ඈට මේ මේ ආකාර කථාකරන්න. ඈ එන විට අන් තැනැත්තියක් මෙන් පෙන්වනවා ඇතැයි කීසේක. දොරකඩින් ඇතුල්වෙන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණ විට ඔහු කථාකොට: යෙරොබොවම්ගේ භාර්යාව, ඇතුළට එන්න; නුඹ අන් තැනැත්තියක් මෙන් පෙන්වන්නේ කුමටද? දුක්ඛිත ආරංචි දන්වන්ට නුඹ වෙතට එවනු ලැබීමි. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි නුඹ ගොස් යෙරොබොවම්ට කියන්න–මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කර, දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දුනිමි. නුමුත් නුඹ වනාහි මාගේ ආඥා පැවත්තුවාවූ, මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේවල් පමණක් කරමින් තමාගේ මුළු සිතින් මා අනුව ආවාවූ මාගේ මෙහෙකරුවූ දාවිත් මෙන් නොසිට, නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්, මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි. නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක. එබැවින් නුඹ පිටත්ව නුඹේ ගෙදරට යන්න. නුඹේ පාද නුවර ඇතුලේ තබනකොටම ළමයා මැරෙනවා ඇත. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය. ඇරත් ඒ දවසේදී යෙරොබොවම්ගේ වංශය සිඳ දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගුටුවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද? තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත. යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය. යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය. සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අහියා අනාගතවක්තෘ ලවා කියෙවු වචනයේ හැටියට ඔහු තැන්පත්කොට ඔහු ගැන වැලපුණෝය. යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ. යෙරොබොවම් රජකම්කළ කාලය විසි දෑවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය. සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යූදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. යූදාවරුද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමුන් කළ පාපවලින් තමුන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන්වහන්සේ කෝපකළෝය. ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය; සොදාමියයෝද දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය. තවද රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය. රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය. රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.

1 රාජාවලිය 14:1-31 Sinhala New Revised Version (NRSV)

ඒ කාලයෙහි ජෙරොබෝවම්ගේ පුත් අබියා රෝගාතුර විය. ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි. ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය. ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක. දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ. ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර, දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දිනිමි. එහෙත්, නුඹ වනාහි මාගේ ආඥා පිළිපැද, මාගේ ඇස් හමුවෙහි හරි දේ පමණක් කරමින් තමාගේ මුළු හෘදයෙන් මා අනුව පැමිණි, මාගේ මෙහෙකරු දාවිත් මෙන් නොසිට, නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය. එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි. නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි. “එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය. ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද? ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සලෙවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක. ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය. ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය. සමිඳාණන් වහන්සේ සිය මෙහෙකරු වන දිවැසිවර අහියා ලවා වදාළ පණිවුඩයේ හැටියට සියලු ඉශ්රායෙල්වරු ඔහු තැන්පත් කොට ඔහු ගැන වැලපුණෝ ය. ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ. ජෙරොබෝවම් රජකම් කළ කාලය විසිදෑවුරුද්දකි. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පුත් නාදාබ් ඔහු වෙනුවට රජ විය. සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය. ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය. සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය. තවද, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට පහර දී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය. රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය. රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි. රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.

1 රාජාවලිය 14:1-31 Sinhala New Revised Version 2018 (SNRV)

ඒ කාලයෙහි ජෙරොබෝවම්ගේ පුත් අබියා රෝගාතුර විය. ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි. ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය. ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක. දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ. ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර, දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දිනිමි. එහෙත්, නුඹ වනාහි මාගේ ආඥා පිළිපැද, මාගේ ඇස් හමුවෙහි හරි දේ පමණක් කරමින් තමාගේ මුළු හෘදයෙන් මා අනුව පැමිණි, මාගේ මෙහෙකරු දාවිත් මෙන් නොසිට, නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය. එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි. නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි. “එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය. ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද? ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සෙලවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක. ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය. ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය. සමිඳාණන් වහන්සේ සිය මෙහෙකරු වන දිවැසිවර අහියා ලවා වදාළ පණිවුඩයේ හැටියට සියලු ඉශ්රායෙල්වරු ඔහු තැන්පත් කොට ඔහු ගැන වැලපුණෝ ය. ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ. ජෙරොබෝවම් රජකම් කළ කාලය විසිදෑවුරුද්දකි. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පුත් නාදාබ් ඔහු වෙනුවට රජ විය. සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය. ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය. සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය. තවද, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට පහර දී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය. රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය. රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි. රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.

1 රාජාවලිය 14:1-31 New International Version (NIV)

At that time Abijah son of Jeroboam became ill, and Jeroboam said to his wife, “Go, disguise yourself, so you won’t be recognized as the wife of Jeroboam. Then go to Shiloh. Ahijah the prophet is there—the one who told me I would be king over this people. Take ten loaves of bread with you, some cakes and a jar of honey, and go to him. He will tell you what will happen to the boy.” So Jeroboam’s wife did what he said and went to Ahijah’s house in Shiloh. Now Ahijah could not see; his sight was gone because of his age. But the LORD had told Ahijah, “Jeroboam’s wife is coming to ask you about her son, for he is ill, and you are to give her such and such an answer. When she arrives, she will pretend to be someone else.” So when Ahijah heard the sound of her footsteps at the door, he said, “Come in, wife of Jeroboam. Why this pretense? I have been sent to you with bad news. Go, tell Jeroboam that this is what the LORD, the God of Israel, says: ‘I raised you up from among the people and appointed you ruler over my people Israel. I tore the kingdom away from the house of David and gave it to you, but you have not been like my servant David, who kept my commands and followed me with all his heart, doing only what was right in my eyes. You have done more evil than all who lived before you. You have made for yourself other gods, idols made of metal; you have aroused my anger and turned your back on me. “ ‘Because of this, I am going to bring disaster on the house of Jeroboam. I will cut off from Jeroboam every last male in Israel—slave or free. I will burn up the house of Jeroboam as one burns dung, until it is all gone. Dogs will eat those belonging to Jeroboam who die in the city, and the birds will feed on those who die in the country. The LORD has spoken!’ “As for you, go back home. When you set foot in your city, the boy will die. All Israel will mourn for him and bury him. He is the only one belonging to Jeroboam who will be buried, because he is the only one in the house of Jeroboam in whom the LORD, the God of Israel, has found anything good. “The LORD will raise up for himself a king over Israel who will cut off the family of Jeroboam. Even now this is beginning to happen. And the LORD will strike Israel, so that it will be like a reed swaying in the water. He will uproot Israel from this good land that he gave to their ancestors and scatter them beyond the Euphrates River, because they aroused the LORD’s anger by making Asherah poles. And he will give Israel up because of the sins Jeroboam has committed and has caused Israel to commit.” Then Jeroboam’s wife got up and left and went to Tirzah. As soon as she stepped over the threshold of the house, the boy died. They buried him, and all Israel mourned for him, as the LORD had said through his servant the prophet Ahijah. The other events of Jeroboam’s reign, his wars and how he ruled, are written in the book of the annals of the kings of Israel. He reigned for twenty-two years and then rested with his ancestors. And Nadab his son succeeded him as king. Rehoboam son of Solomon was king in Judah. He was forty-one years old when he became king, and he reigned seventeen years in Jerusalem, the city the LORD had chosen out of all the tribes of Israel in which to put his Name. His mother’s name was Naamah; she was an Ammonite. Judah did evil in the eyes of the LORD. By the sins they committed they stirred up his jealous anger more than those who were before them had done. They also set up for themselves high places, sacred stones and Asherah poles on every high hill and under every spreading tree. There were even male shrine prostitutes in the land; the people engaged in all the detestable practices of the nations the LORD had driven out before the Israelites. In the fifth year of King Rehoboam, Shishak king of Egypt attacked Jerusalem. He carried off the treasures of the temple of the LORD and the treasures of the royal palace. He took everything, including all the gold shields Solomon had made. So King Rehoboam made bronze shields to replace them and assigned these to the commanders of the guard on duty at the entrance to the royal palace. Whenever the king went to the LORD’s temple, the guards bore the shields, and afterward they returned them to the guardroom. As for the other events of Rehoboam’s reign, and all he did, are they not written in the book of the annals of the kings of Judah? There was continual warfare between Rehoboam and Jeroboam. And Rehoboam rested with his ancestors and was buried with them in the City of David. His mother’s name was Naamah; she was an Ammonite. And Abijah his son succeeded him as king.