1 රාජාවලිය 14

14
යෙරොබොවම්ට එරෙහි දිවැස් වැකි
1එකල්හි යෙරොබොවම්ගේ පුත් අබියා රෝගී විය. 2යෙරොබොවම් තම බිරිඳ අමතමින්, “ඔබ යෙරොබොවම්ගේ බිරිඳ වග හැඳිනගන්නට බැරි වන සේ වෙස් වළා, ෂීලෝ වෙත යන්න. දිවැසිවර අහියා එහි සිටී. මේ ජනයා කෙරේ මා රජ වන වග මට පැවසූ තැනැත්තා ඔහුයි. 3රොටි දහයක්, රස කැවිලි හා මී පැණි බඳුනක් ගෙන, ඔහු වෙත යන්න. දරුවාට කුමක් වේ දැයි ඔහු ඔබට පවසනු ඇතැ” යි කී ය. 4එබැවින් යෙරොබොවම්ගේ බිරිඳ ඔහු කී පරිදි කරමින්, ෂීලෝහි අහියාගේ නිවස වෙත ගියා ය.
මේ වන විට අහියාගේ ඇස් පෙනුණේ නැත. ඔහු වියපත් ව සිටි නිසා ඔහුගේ පෙනීම දුරු වී තිබුණේ ය. 5එහෙත් ස්වාමින්වහන්සේ අහියාට කතා කොට, මෙසේ කියා තිබුණේ ය. “යෙරොබොවම්ගේ බිරිඳ තම පුත්‍රයා ගැන ඔබෙන් විමසන්නට එන්නී ය; ඔහු සිටින්නේ රෝගීවයි. ඔබ ඇයට මේ මේ අයුරින් පිළිතුරු දිය යුතුයි. ඇය එන්නේ වෙස් වළාගෙන ය” යනුවෙනි.
6එබැවින් ඇය ඇතුළු වෙද්දී, ඇගේ අඩි ශබ්දය ඇසූ අහියා, “ඇතුළට එන්න; යෙරොබොවම්ගේ බිරිඳ, ඇයි මේ රඟපෑම? මා ළඟ ඇත්තේ අසුබ ආරංචියක්. 7ගොසින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි යෙරොබොවම්ට කියන්න: ‘ජනයා අතරෙන් මම නුඹ උසස් කොට, මගේ ජනයා වන ඉශ්‍රායෙල්හි නායකයා කොට පත් කළෙමි. 8දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය ඉරා, මා ඔබට දුන් නමුදු ඔබ, මගේ ආඥා රක්ෂා කළ, තමන්ගේ මුළු හදින් මා අනුගමන කළ, මගේ ඇස් හමුවේ හරි ව තිබූ දේ පමණක් කළ මගේ සේවක දාවිත් මෙන් වූයේ නැත. 9නුඹට පෙර සිටි සියල්ලන්ට ම වඩා නුඹ නපුර කරමින්, නුඹට ම අන් දෙවිවරුන්, ලෝහමය පිළිම සාදා ගෙන, නුඹ මා කෝපයෙන් අවුස්සා, ඔබේ පිටුපසට මා තල්ලු කර දමා ඇත.
10“ ‘ඒ නිසා මෙන්න, යෙරොබොවම්ගේ වංශය පිට මම විපත්තිය ගෙනෙන්නෙමි. වහල් හෝ නිවහල් වේවා යෙරොබොවම්ට අයිති ඉශ්‍රායෙල්හි අවසාන පිරිමියා දක්වා ම ඔහු වෙතින් සිඳ දමන්නෙමි. යමකු කැළි කසළ මුළුමනින් දැවී යන තුරු පුලුස්සා දමන්නාක් මෙන්, මම යෙරොබොවම්ගේ වංශය පුලුස්සා දමන්නෙමි. 11යෙරොබොවම්ට අයිති අයගෙන් නගරයේ මිය යන අය බල්ලන් විසින් කා දමනු ලබන්නේ ය. ඉන් පිටතදී මිය යන අය අහස් පක්ෂීන්ට ආහාර වන්නේ ය. මන්ද එසේ පැවසුවේ ස්වාමින්වහන්සේ ය.’
12“දැන් ඔබ යළි ගෙදර යන්න. ඔබ, ඔබේ පුරවරයට පය තබන විට ම දරුවා මිය යනු ඇත. 13මුළු ඉශ්‍රායෙල් ඔහු ගැන ශෝක වී ඔහු භූමදාන කරන්නෝ ය. යෙරොබොවම්ට අයිතිවූවන්ගෙන් භූමදාන කරනු ලබන්නේ ඔහු පමණකි. මන්ද යෙරොබොවම්ගේ වංශයෙන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යම් හොඳක් හමු වූයේ ඔහු තුළ පමණි.
14“යෙරොබොවම්ගේ පියවංශය සිඳ දමන රජකු ස්වාමින්වහන්සේ තමන් උදෙසා ඉශ්‍රායෙල්හි නැගිටුවන සේක. ඒ දවස අදයි. ඔව්! මේ දැන්#14:14 මෙම වාක්‍යයේ හෙබ්‍රෙව් අර්ථය අවිනිශ්චිත ය.. 15බට ගසක් වතුරේ එහාට මෙහාට වැනෙන ලෙස ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දෙන සේක; උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් යහපත් දේශයෙන් ඉශ්‍රායෙල් මුලිනුදුරා, ගංගාවෙන්#14:15 ගංගාවෙන් එනම් යුප්‍රටීස් එතෙරට ඔවුන් විසුරුවා දමන සේක. මන්ද ඔවුහු තමන්ට අෂේරා කණු සාදා ගැනීමෙන්, ස්වාමින්වහන්සේ කෝප ගැන්වූහ. 16යෙරොබොවම් විසින් කර ඇති පාප නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පාප නිසාත් උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමන සේකැ” යි පැවසී ය.
17ඉන්පසු යෙරොබොවම්ගේ බිරිඳ නැගිට, පිටත් ව, තිර්සා වෙත ගියා ය. ඇය ගෙයි එළිපත්ත පිට අඩිය තැබූ සැණින් දරුවා මිය ගියේ ය. 18ස්වාමින්වහන්සේ තම සේවක දිවැසිවර අහියා මගින් පවසා තිබූ පරිදි ඉශ්‍රායෙල්වරු සියලු දෙනා ඔහු වළලා, ඔහු ගැන වැලපුණහ.
19යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ යුද්ධ හා ඔහු පාලනය කළ අන්දම ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. 20ඔහු වසර විසිදෙකක් රජකම් කොට, තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පුත් නාදාබ් ඔහුගෙන් පසු, රජකමට පත් විය.
යූදාහි රෙහොබොවම් රජ
21සාලමොන්ගේ පුත් රෙහොබොවම් යූදාහි රජ ව සිටියේ ය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි.
22යූදා ජනයා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ නපුර ය. ඔවුහු තම පාප මගින් උන්වහන්සේගේ ඊර්ෂ්‍යා සහගත කෝපය ඇවිස්සුවේ, ඔවුන්ගේ සියලු පියවරුන් කර තිබුණාටත් වඩා වැඩියෙනි. 23තවද ඔවුහු හැම උස් හෙලක් පිට හා අතු පතර විහිදුණු හැම ගහක් යට තමන්ට උස් තැන් පුදසුන් ද රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. 24දේශය තුළ දේවාල-පිරිමි ගණිකාවන් පවා සිටියහ; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දමා තිබූ ජාතීන්ගේ සියලු පිළිකුල්කම්වල ඔවුහු ගැලුණහ.
25රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ, ඊජිප්තුවේ රජු වූ ෂීෂක්, යෙරුසලමට විරුද්ධ ව ආවේ ය. 26ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ අනර්ඝ වස්තු හා රජ මැදුරේ අනර්ඝ වස්තු රැගෙන ගියේ ය. සාලමොන් සාදා තිබූ රන් පලිහ සියල්ල ඇතුළු හැම දෙයක් ම ඔහු ගෙන ගියේ ය. 27එබැවින් රෙහොබොවම් රජු ඒවා වෙනුවට ලෝකඩ පලිහ සාදා, රජ මැදුරු පිවිසුම ආරක්ෂකයින්ගේ සෙන්පතීන් භාරයේ ඒවා තැබී ය. 28රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විට, ආරක්ෂකයෝ පලිහ ඔසවාගෙන ගොස්, නැවත ඒවා ආරක්ෂක කුටිය වෙත යළි ගෙන ආහ.
29රෙහොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදාහි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 30රෙහොබොවම් හා යෙරොබොවම් අතරේ දිගට ම යුද්ධ පැවතිණි. 31රෙහොබොවම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, දාවිත් පුරයේ ඔවුන් අතරේ භූමදාන කෙරිණි. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. ඔහුගේ පුත් අබියාම්#14:31 අබියාම් බොහෝ හෙබ්‍රෙව් පිටපත් අනුව ය; සමහර හෙබ්‍රෙව් පිටපත් සහ සෙප්ටුවජින්ට් 2 ලේක 12;16 ද බලන්න අබියා ඔහු වෙනුවට රජකමට පත් විය.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 14: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න