තීතස් 1

1
1දෙවියන්වහන්සේගේ සේවකයකු හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වන පාවුල් වෙතිනි. දෙවියන්වහන්සේගේ තෝරාගත්තවුන්ගේ ඇදහිල්ල උදෙසාත්, දේව භක්තියට අදාළ ඔවුන්ගේ සත්‍ය අවබෝධය උදෙසාත්, 2බොරු නො කියන දෙවියන්වහන්සේ යුග කාල පටන් ගැන්මටත් කලින් පොරොන්දු වූ, සදාතන ජීවනය පිළිබඳ බලාපොරොත්තුව, 3නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි.
4පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි:
පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!
නායකයින් පත් කිරීම
5මා ක්‍රීතයේ ඔබ නතර කළේ මෙනිසයි; මා ඔබට නියම කළ ලෙස, කළ යුතු වැඩ කොටස නිසි පිළිවෙළට කිරීමටත්, මා ඔබට පෙන්වා දුන් අයුරු හැම නගරයක සභා-මූලිකයින් පත් කිරීමටත් ය. 6ඔවුන් දෝෂ රහිත විය යුතු අතර, එක් භාර්යාවකට ස්වාමිපුරුෂයා විය යුතු ය. ඔහුගේ දරුවන් ඇදහිලිවතුන් විය යුතු අතර, නො හික්මීම හා අකීකරුවීම යන දෝෂ දර්ශනයට ලක් නො වූ අය විය යුතු ය. 7සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර, 8ආගන්තුක සත්කාරයට ලැදි, යහපතට ප්‍රේම කරන, ආත්ම සංයමයෙන් යුක්ත, යුක්ති ගරුක, ශුද්ධවත්, විනය ගරුක කෙනකු විය යුතු ය. 9සාර ඉගැන්වීම මගින් අන්‍යයන් දිරි ගැන්වීමටත්, ඊට එරෙහිවන්නන් දුර්මුඛ කිරීමටත් සමත් වන පිණිස, ඔහු තමාට උගන්වන ලද පරිද්දෙන් විශ්වාසී වචනය තදින් අල්ලා ගත යුතු ය.
යහපත නො කරන්නන්ට තරවටුව
10මන්ද පුහු කතාකරුවන් වූ, රැවටිලිකාර හිතුවක්කරුවන් බොහෝ දෙනෙක් වෙති; විශේෂයෙන් ඒ චර්මඡේදිත කණ්ඩායමේ අය ය. 11නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතු ව ඇත. 12“ක්‍රීතවාසීහු සැමදා බොරුකරුවන් ය; අමු තිරිසන්නු ය; අලස කෑදරයෝ යැ” යි ක්‍රීත වාසී අනාවැකිකරුවෙක් කියා තිබේ. 13මේ කියමන සත්‍යයකි. එබැවින් ඔවුන්ට තදින් තරවටු කරන්න. එසේ කළ යුත්තේ, ඔවුන් සාර ඇදහිලිවතුන් වන පිණිසත්, 14යුදෙව් මිථ්‍යාවලට හෝ සත්‍යයට පිටුපෑවුන්ගේ නියෝගවලට ඔවුන් ඇදී නො යන පිණිසත් ය. 15පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය. එහෙත් දූෂිත හා අවිශ්වාසීවූවනට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත්, හෘදය සාක්ෂියත් යන දෙක ම දූෂ්‍ය වී ඇත. 16තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.

දැනට තෝරාගෙන ඇත:

තීතස් 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න