සාලමොන්ගේ ගීතය 5

5
ප්‍රේමවන්තයා
1මම මගේ උයනට පැමිණියෙමි මගේ නගේ, මගේ මනාලියේ,
මම මගේ සුවඳලාටු හා මගේ සුවඳ කුළු බඩු එකතු කර ගත්තෙමි;
මම මගේ මී වදයත්, මී-පැණිත් අනුභව කළෙමි;
මම මගේ මිදි යුෂ හා කිරි පානය කළෙමි.
සපිරිවර
කන්න! මිතුරනි, බොන්න;
ප්‍රේමයෙන් මත් වන්නට ම බොන්න.
ප්‍රේමවන්තිය
2මම නිදා ගත්තෙමි; එහෙත් මගේ හද අවදියෙන් ය.
අන්න! මගේ ප්‍රේමවන්තයා තට්ටු කරන හඬ:
“දොර අරින්න මට, මගේ නගේ, මගේ සොඳුරියේ;
මගේ පරෙවි කිරිල්ලියේ, මගේ පරිපූර්ණ ලියේ,
මගේ හිස පින්නෙන් පෙඟී,
මගේ හිසකේ රෑ පිනි බිඳුවලින් තෙත් වී ඇත.”
3මම මගේ ඇඳුම ගලවා තැබීමි;
යළි මා ඒවා ඇඳගත යුතු ද?
මම මගේ පාද සෝදාගෙන ඇත්තෙමි;
යළි මා ඒවායේ කුණු ගා ගත යුතු ද?
4මගේ පෙම්වතා දොර සිදුර තුළින් තම අත රිංගවී ය;
මගේ සර්වාංගය ම ඔහු වෙත ඇදී ගියේ ය.
5මගේ ප්‍රේමවන්තයාට දොර අරින්නට මම නැගිට්ටෙමි;
මා දොර අගුල ඇල්ලූ කල
මගේ අත්වල සුවඳලාටු ද
මගේ ඇඟිලිවල සුවඳලාටු දියර ද වෑස්සිණ.
6මගේ ප්‍රේමවන්තයාට මම දොර ඇරියෙමි;
ඒත් මගේ පෙම්වතා පිට ව ගොසින්; ඔහු යන්න ගිහිං;
ඔහුගේ ඉවත් ව යෑමෙන් මගේ හදවත කිඳා බැස්සේ ය.
ඔහු කොහේදැයි මා සොයා බැලූ නමුදු, ඔහු සම්බ වුණේ නැත;
ඔහුට මා හඬ ගැසූ නමුත්, ඔහු මට උත්තර දුන්නේ නැත.
7නගර සංචාරයේ යෙදෙන මුර සෙබළුනට
මා හමු විණ;
ඔවුහු මට තැලුවෝ, මා තුවාල කළෝ ය;
පුර පවුරේ ඒ සෙබළු,
මගේ සළුව පැහැර ගත්හ.
8එම්බා යෙරුසලම් දූවරුනි, මා නුඹලා දිවුරවන්නේ,
මගේ ප්‍රේමවන්තයා නුඹලාට හමු වුණොත්,
ප්‍රේමයෙන් මා මුසපත් ව සිටින වග
ඔහුට කියන ලෙසයි.
සපිරිවර
9ඔබේ පෙම්වතා සෙස්සනට වඩා උදාරවන්නේ කෙලෙස ද?
ස්ත්‍රීන් අතර ඉතාම රුවැත්තිය,
ඔබ අප දිවුරවන්නට තරම්
ඔබේ පෙම්වතා සෙස්සනට වඩා උදාරවන්නේ කෙලෙස ද?
ප්‍රේමවන්තිය
10මගේ ප්‍රේමවන්තයා දීප්තිමත් ය; රතු ය;
දස දහසක් අතරේ වුව කැපී පෙනෙයි.
11ඔහුගේ හිස අනගිතම රත්රන් ය;
රැළි ගැසුණු ඔහුගේ හිසකේ
කපුටකු සේ කළුවන් ය.
12ඔහුගේ ඇස්, කිරෙන් සෝදා,
දිය පාරක් ළඟ හිඳිනා
පරෙවියන් වගේ ය.
ඇල්ලූ මැණික් වගේ ය.
13ඔහුගේ කම්මුල්, සුවඳ විහිදුවන
සුවඳ පැළ පාත්තියක් වගේ ය;
ඔහුගේ දෙතොල් මානෙල් මල් වගේ ය.
ඉන් සුවඳලාටු වෑස්සෙයි.
14ඔහුගේ දෑතේ බාහු,
රන්කාන්ති මැණික් ඇල්ලූ රත්රන් පොලු වගේ ය.
ඔහුගේ පපු පෙදෙස, ඉඳුනිල් මැණික්වලින් අලංකෘත ව
ඔප දැමූ ඇත් දළ වගේ ය.
15ඔහුගේ දෙකකුල්, අමිශ්‍ර රන් පදනම් මත පිහිටන ලද
කිරිගරුඬ කණු වගේ ය.
ඔහුගේ පෙනුම, ලෙබනොන් වගේ ය;
එහි දේවදාර ගස් වගේ විශිෂ්ට ය.
16ඔහුගේ මුඛය ඉතා මිහිරි ය;
මුළුමනින් ම ඔහු ප්‍රියංකර ය;
එම්බා යෙරුසලම් දූවරුනි,
මගේ පෙම්වතා-මගේ මිතුරා එබඳු ය.

දැනට තෝරාගෙන ඇත:

සාලමොන්ගේ ගීතය 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න