සාලමොන්ගේ ගීතය 2
2
ප්‍රේමවන්තිය
1මා ෂාරොන්හි රෝස මලකි#2:1 රෝස මලකි එනම් වන මලකි.;
මිටියාවත්වල මානෙල් මලකි.
ප්‍රේමවන්තයා
2යෞවනියන් අතරේ මගේ ප්‍රියාවිය,
කටු පඳුරු අතරේ මානෙල් මලක් සේ ය.
ප්‍රේමවන්තිය
3යෞවනයන් අතර මගේ පෙම්වතා,
කැලේ ගස් අතර ඇපල් ගසක් සේ ය.
ඔහුගේ සෙවණේ හිඳ සිටීම මට මහත් ආශ්වාදයකි.
ඔහුගේ පලය ද රසයෙන් මට මිහිරි ය.
4මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය,
මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය.
5වියළි මිදිවලින් මා ප්‍රාණවත් කර,
ඇපල්වලින් මා ප්‍රබෝධ කරන්න;
මන්ද මම ප්‍රේමයෙන් මුසපත් ව සිටිමි.
6මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය.
ඔහුගේ දකුණත මා වැලඳ ගනී.
7එම්බා යෙරුසලමේ දූවරුනි,
කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ,
නිසි අවස්ථාව එළැඹෙන තෙක්, ප්‍රේමය නො පොලඹවන ලෙසයි;
නො පුබුදුවන ලෙසයි.
8ඇහෙනවා ද? ඒ මගේ ප්‍රේමවන්තයාගේ කටහඬයි;
අන්න! ඔහු එන අපූරුව;
කඳු හරහා පැන පැන,
කඳු ගැට නගිමින්.
9මගේ පෙම්වතා කුරංග මුවකු වගේ;
නාඹර ගෝනකු වගේ;
අන්න! ඔහු අපේ බිත්තියට එහායින් සිටගෙන,
කවුළු අතරින් විපරම් කර කර, ගරාදි අතරින් එබී බලයි.
10මගේ පෙම්වතා මා අමතා පවසන්නේ,
“නැගිටින්න මා ප්‍රියාවිය,
මගේ රූමතිය, එන්න මා සමඟ;
11ඔන්න දැන් ශීත කාලේ ගෙවිලා ඉවරයි;
වැස්ස නැවතිලා; වැහි ඉවරයි.
12පොළෝ තලේ මල් පිපිලා;
ගී ගයන කාලය ඇවිල්ලා;
පරෙවියන්ගේ කූජනය
අපේ බිමේ ඇසේ.
13අත්තික්කා ගහේ ගෙඩි ඉදෙන විට,
මිදි වැල්වල මල් පිපෙන විට ඒවායේ සුවඳ පැතිරේ;
නැගිටින්න, මා ප්‍රියාවිය,
මගේ රූමතිය, එන්න මා සමඟ.”
ප්‍රේමවන්තයා
14පර්වතයේ විවරවල ද කඳු බෑවුමේ සැඟවෙන තැන්වල ද වසන
මගේ පරෙවි කිරිල්ලිය,
නුඹේ මුහුණ මට පෙන්වන්න;
නුඹේ කටහඬ ඇහෙන්න මට කතා කරන්න;
මන්ද නුඹේ කටහඬ මිහිරියි;
නුඹේ මුහුණ රමණීයයි.
15අල්ලා දෙන්න අර සිවලුන්;
මිදි වතු වනසන පුංචි සිවලුන්;
මන්ද අපේ මිදි වතු
මල්බර වී එයි.
ප්‍රේමවන්තිය
16මගේ ප්‍රේමවන්තයා මගේ ය; මා ඔහුගේ ය.
ඔහු මානෙල් අතරේ උළා කයි.
17දවස උදා වන තුරු,
සෙවණැලි පලා යන තුරු,
හැරී එන්න මගේ ප්‍රේමවන්තය,
රළු කඳු#2:17 රළු කඳු එනම් බෙතෙර් කඳු මත
කුරංග මුවකු සේ,
නාඹර ගෝනකු සේ.
දැනට තෝරාගෙන ඇත:
සාලමොන්ගේ ගීතය 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.