රූත් 4:3-6
රූත් 4:3-6 SCV
ඉන්පසු ඔහු, මිදීම සිදු කළ හැකි නෑයා අමතමින්, “මෝවබ් දේශයේ සිට පෙරළා පැමිණි නායොමි, අපගේ සහෝදර එලීමෙලෙක්ට අයත් වූ ඉඩම් කැබැල්ල විකුණන්නී ය. එබැවින් මෙහි අසුන් ගෙන සිටින මේ අය ඉදිරියේ හා මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේ, එය මිලයට ගන්නැයි ඔබට දැන්විය යුතු යැයි මා සිතුවා. එය මුදා ගන්නට ඔබ කැමති නම්, එය මුදා ගන්න. එහෙත් ඔබ නො කැමති නම්, මා එය දැනගන්නා පිණිස ඒ වග මට කියන්න. මන්ද ඔබට පෙරාතුව එය මුදාගැන්මේ අයිතිය වෙන කාටවත් නැත. ඊළඟට සිටින්නේ මමයි” කීවේ ය. “මා එය මුදා ගන්නවා” යි නෑයා පැවසී ය. එවිට බෝවස්, “නායොමි අතින් ඔබ මේ ඉඩම මිලයට ගන්නා දවසේ, මළ අයගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය පවතින පිණිස, මළ මිනිසාගේ වැන්දඹුව වූ මෝවබිය රූත් ද අත්කර ගන්නේ යැ” යි පැවසී ය. මෙවිට, මිදීම සිදු කළ හැකි නෑයා, “එසේ නම්, මට එය මුදා ගන්න බැහැ. මන්ද, එයින් මගේ ම උරුමයට අනර්ථයක් සිදු විය හැකියි. මුදා ගැනීමේ මා සතු අයිතිය ඔබ ම බාර ගන්න. මන්ද මට එය මුදා ගත නො හැකි යැ” යි පැවසී ය.

