රෝම 8:22-30

රෝම 8:22-30 SCV

මන්ද මුළු මහත් මැවිල්ල ම එක් ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු. එපමණකුදු නො ව ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු. මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇතිකර ගන්නේ කවුරු ද? එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු. එපරිදි අපේ දුර්වලතාවලදී ආත්මයාණෝ අපට උපකාර කරන සේක. යුතු පරිදි අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාදැයි අප දන්නේ නැත. එහෙත් ආත්මයාණෝ ම වචනයෙන් කිව නො හැකි කෙඳිරීම් මගින් අප උදෙසා මැදිහත් වන සේක. හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය. තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක් ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ පෙර දැනසිටියවුන්, ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන විය යුතු බවට, පෙර නියමයක් කළ සේක; එසේ කළේ, උන්වහන්සේ බොහෝ වූ සහෝදරයන් අතරේ කුලුඳුලාණන් වන පිණිස ය. එසේ, උන්වහන්සේ පෙර නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.

රෝම 8 කියවන්න