රෝම 8:22-30

රෝම 8:22-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මන්ද මුළු මහත් මැවිල්ල ම එක් ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු. එපමණකුදු නො ව ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු. මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇතිකර ගන්නේ කවුරු ද? එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු. එපරිදි අපේ දුර්වලතාවලදී ආත්මයාණෝ අපට උපකාර කරන සේක. යුතු පරිදි අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාදැයි අප දන්නේ නැත. එහෙත් ආත්මයාණෝ ම වචනයෙන් කිව නො හැකි කෙඳිරීම් මගින් අප උදෙසා මැදිහත් වන සේක. හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය. තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක් ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ පෙර දැනසිටියවුන්, ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන විය යුතු බවට, පෙර නියමයක් කළ සේක; එසේ කළේ, උන්වහන්සේ බොහෝ වූ සහෝදරයන් අතරේ කුලුඳුලාණන් වන පිණිස ය. එසේ, උන්වහන්සේ පෙර නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:22-30 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව. එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව. මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද? නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව. එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක. තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව. මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක. පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:22-30 Sinhala New Revised Version (NRSV)

මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු. අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:22-30 Sinhala New Revised Version 2018 (SNRV)