එළිදරවු 22

22
ජීවන ගංගාව
1ඉන්පසු දේව දූතයා මට පෙන් වූ ජීවන දිය ගංගාව, පළිඟු මෙන් දිළිසෙමින් දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය වෙතින් ගලා ගියේ, 2පුරවරයේ මහා වීදිය මැදිනි. ගඟ දෙපස වූයේ, දොළොස් අයුරක පල උපදන, හැම මසක ම පල දරන ජීවන වෘක්ෂයයි. ගහේ කොළ ජාතීන්ගේ සුවය පිණිස ය. 3කිසි ශාපයක් තවත් එහි නො වන්නේ ය. දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය පුරවරය තුළ වන්නේ ය. උන්වහන්සේගේ සේවකයින් උන්වහන්සේට නමස්කාර කරනු ඇත. 4ඔවුහු උන්වහන්සේගේ මුහුණ දකිති. ඔවුන්ගේ නළල්හි උන්වහන්සේගේ නාමය තිබෙනු ඇත. 5රාත්‍රියක් තවත් එහි නො වන්නේ ය. ඔවුනට පහනක එළියක් හෝ සූර්යාලෝකය අවශ්‍ය නැත. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඔවුන්ගේ එළිය වන සේක. ඔවුන් සදහට, සදාතනික ව රජකම් කරනු ඇත.
යොහන් සහ දේව දූතයා
6මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑ තම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.
7“මෙන්න! මම ඉක්මනින් එමි! මේ පොතේ දිවැස් වැකි වචන රක්ෂා කරන්නා භාග්‍යවත් ය.”
8මේ දෑ ඇසූ, දුටු තැනැත්තා යොහන් වන මම ය. ඒවා ඇසූ, දුටු පසු ඒ දෑ මට පෙන් වූ දේව දූතයාට නමස්කාර කරන්නට මම ඔහු පාමුල වැටුණෙමි. 9එහෙත් ඔහු කතා කරමින්, “ඔබ එසේ නො කළ යුතුයි; මා ඔබත්, ඔබේ සහෝදර දිවැසිවරුනුත් මේ පොතේ වචන රක්ෂා කරන්නනුත් සමඟ පංගුකාර සේවකයෙක්; දෙවියන්වහන්සේට නමස්කාර කරන්නැ” යි පැවසී ය.
10ඉන්පසු ඔහු මා අමතමින්, “මේ පොතේ දිවැස් වැකි වචන මුද්‍රා තබන්න එපා; මන්ද කාලය ආසන්න ය. 11නපුර කරන්නා තවත් නපුර කරත්වා. අපවිත්‍ර තැනැත්තා, තවත් අපවිත්‍ර වෙත්වා. ධර්මිෂ්ඨයා තවත් හරි දේ කරත්වා; ශුද්ධ තැනැත්තා තවත් ශුද්ධවත් වෙත්වා.”
ඇරියුම සහ අනතුරු ඇඟවීම
12“මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක් ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත. 13මම අල්ෆා සහ ඔමෙගා වෙමි; පළමු වැන්නා සහ අන්තිමයා වෙමි; ආරම්භය හා අවසානය වෙමි.
14“ජීවන වෘක්ෂයට අයිතිය ලැබෙන පිණිසත්, පුරවරයට දොරටු තුළින් ඇතුළු වන පිණිසත් තම සළු සෝදා ගන්නෝ භාග්‍යවත් ය. 15පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනී මරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.
16“යේසුස් වන මම සභා උදෙසා, ඔබට සාක්ෂි දරන්නට මගේ දූතයා එවීමි. මම දාවිත්ගේ අංකුරයාණන් හා එයින් පැවත එන්නා ය. බැබළෙන පහන් තාරකාව ය.”
17ආත්මයාණන්වහන්සේ ද මනාලී ද, “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද, “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!
18මෙම පොතේ දිවැස් වැකි වචන අසන හැම කෙනකුට ම මම මෙසේ අනතුරු අඟවමි; යමෙක් ඊට යමක් එකතු කරත් නම්, මේ පොතේ සවිස්තර වසංගත දෙවියන්වහන්සේ ඔහුට එකතු කරනු ඇත. 19යමෙක් මේ දිවැස් වැකි පොතේ වචන ඉවත් කරත් නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයෙන් හා ශුද්ධ පුරවරයෙන් ඔහුගේ පංගුව දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉවත් කරනු ඇත.
20මේ දෑ ගැන සාක්ෂි දෙන තැනැත්තාණෝ, “සත්තකින් ම, මම ඉක්මනින් එමි” යි කියන සේක.
ආමෙන්! යේසුස් ස්වාමින්වහන්ස, එන්න!
21යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය සියලු ශුද්ධවන්තයින් සමඟ පවතීවා! ආමෙන්.

දැනට තෝරාගෙන ඇත:

එළිදරවු 22: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න