එළිදරවු 20

20
දහස් අවුරුද්ද
1ඉන්පසු දේව දූතයකු පතුලක් රහිත අගාධ වළේ යතුර හා මහත් දම්වැලක් අතේ ඇති ව ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. 2ඔහු, යක්ෂයා හෙවත් සාතන් වන ඒ පුරාණ සර්පයා හෙවත් මකරා අල්ලා, අවුරුදු දහසකට ඌ බැඳ, 3ඒ අවුරුදු දහස ගෙවී යන තෙක් ජාතීන් තවදුරටත් නො රවටන පිණිස, අගාධ වළේ ඌ හෙළා, එය අගුළු ලා, ඒ පිට මුද්‍රා තැබී ය. එයින් පසු, මද කලකට ඌ මුදා හැරිය යුතු ව ඇත.
4ඉන්පසු මම සිංහාසන දැක්කෙමි; විනිශ්චය සඳහා ආධිපත්‍යය පවරන ලද්දෝ ඒවායේ හිඳ සිටියහ. තවද යේසුස්වහන්සේ උදෙසා වූ සාක්ෂිය නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබූවන්ගේ ජීවාත්ම මම දුටිමි. ඔවුන් මෘගයාට හෝ උගේ පිළිරුවට හෝ නමස්කාර කර තිබුණේවත්, තමන්ගේ නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබා තිබුණේවත් නැත. ඔවුහු යළි ජීවනයට පැමිණ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ. 5සෙසු මළවුන් අවුරුදු දහස නිම වන තෙක් ජීවනයට පැමිණියේ නැත. මෙය පළමු මරණින් නැගිටීම ය; 6පළමු මරණින් නැගිටීමට පංගුකාරවූවෝ භාග්‍යවත් ය; ශුද්ධවත් ය! දෙවන මරණයට ඔවුන් කෙරේ කිසිදු බලයක් නැත. ඔවුන්, දෙවියන්වහන්සේගේ හා ක්‍රිස්තුස්වහන්සේගේ පූජකයින් වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන් අවුරුදු දහසක් රජකම් කරනු ඇත.
සාතන්ගේ දඬුවම
7අවුරුදු දහස ගෙවුණු පසු සාතන් ඔහුගේ සිර ගෙයින් මුදනු ලැබ, 8පොළොවේ සතර කොනේ සිටින, ගෝග් හා මාගොග් ජාතීන් මුළා කර, ඔවුන් යුද්ධයට රැස් කරන පිණිස පිටත් ව යනු ඇත. ඔවුහු ගණනින් මුහුදු වෙරළේ වැලි හා සම වෙති. 9ඔවුහු පොළෝ තලය පුරා පෙළ ගැසී, ගොස් ශුද්ධවතුන්ගේ කඳවුර හා ප්‍රේමණීය පුරය වටලා ගත්හ. එහෙත්, ස්වර්ගයෙන් ගිනි බැස, ඔවුන් දවාලී ය. 10ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනික ව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.
මළවුන්ගේ විනිශ්චය
11ඉන්පසු ධවල මහා සිංහාසනයක් හා එහි වැඩහුන් තැනැන්වහන්සේ දුටිමි. උන්වහන්සේ ඉදිරියෙන් අහසත්, පොළොවත් පලා ගියේ ය. ඒවාට තැනක් සම්භ නො විණි. 12තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ. 13මුහුද, එහි වූ මළවුන් බාර දුනි. මරණය හා පාතාලය#20:13 ග්‍රීක් බසින් හේදිසිය, 14 වෙනි පදයේ ද එය සඳහන් වේ. ද ඒවායේ වූ මළවුන් බාර දුනි. එකිනෙකා කර තිබූ දෑ අනුව හැම කෙනෙක් ම විනිශ්චය කරන ලදහ. 14මරණය හා පාතාලය ගිනි විලට හෙළනු ලැබිණ. ගිනි විල දෙවන මරණයයි. 15යමකුගේ නම ජීවන පොතේ ලියවී නැති බැව් සම්භ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.

දැනට තෝරාගෙන ඇත:

එළිදරවු 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න