එළිදරවු 13

13
මුහුදින් මතු වූ මෘගයා
1මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය.#13:1 ඇතැම් පිටපත්වල මම මුහුදු වෙරළේ සිට ගත්තෙමි යනුවෙන් සඳහන් වේ. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය. 2මා දුටු මෘගයා දිවියකුට සමාන ය. උගේ පාද, වලසකුගේ වැනි ය; උගේ කට, සිංහයකුගේ කට වැනි ය. මකරා තම බලයත්, තම සිංහාසනයත්, මහා ආධිපත්‍යයත් ඌට දුන්නේ ය. 3උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබුණාක් මෙන් පෙනුනත්, ඒ මාරක තුවාලය සුව වී තිබිණි. මුළු පොළොව මවිත ව මෘගයා පස්සේ ගියහ. 4මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධ ව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.
5අහංකාර හා දේවාපහාසික වචන පැවසීමේ මුඛයක් හා මාස හතළිස් දෙකක් අධිපතිකම් පෑමේ වරය මෘගයාට දෙනු ලැබී ය. 6දෙවියන්වහන්සේට අපහාස කරන පිණිස, උන්වහන්සේගේ නාමයට හා උන්වහන්සේගේ වාසස්ථානය වන ස්වර්ගවාසීන්ට අපහාස කරන පිණිස, ඌ උගේ කට ඇරියේ ය. 7ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී. 8පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.
9කන් ඇති තැනැත්තා අසාවා!
10“යමෙක් වහල්කමට යෑමට නියම නම්,
වහල්කමට ම ඔහු යන්නේ ය.
යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්,
කඩුවෙන් ම ඔහු මරනු ලැබිය යුතු ය.”#13:10 යෙරමි 15;2
මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.
පොළොවෙන් මතු වූ මෘගයා
11ඉන්පසු තවත් මෘගයකු පොළොවෙන් මතු වී එනු මම දුටිමි. බැටළු පැටවකුගේ වැනි අං දෙකක් ඌට තිබිණ. එහෙත් ඌ මකරකු මෙන් කතා කළේ ය. 12ඌ, පළමු මෘගයාගේ මුළු ආධිපත්‍යය ඌ ඉදිරියේ අභ්‍යාස කරමින්, මාරක තුවාලයෙන් සුවය ලැබ සිටි පළමු මෘගයාට පොළොව ද එහි වාසීන් ද නමස්කාර කරවී ය. 13තවද ඌ, මිනිසුන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බැස්සවීමට තරම් මහත් වූ හාස්කම් ලකුණු ගෙන හැර පෑවේ ය. 14කඩු පහරින් තුවාල ලද මුත්, තවමත් ජීවත් වූ මෘගයාගේ පිළිමයක් සාදන්නට කීමෙන්, පළමු මෘගයා උදෙසා සිදු කරන්නට බලය ලැබ තිබූ හාස්කම් ලකුණුවලින් ඌ පොළෝ වාසීන් රැවටී ය. 15තවද පළමු මෘගයාගේ රූපයට කතා කරන්නට හැකි වන පිණිස හා මෘගයාගේ පිළිම රූපයට නමස්කාර නො කරන්නන් මරා දමනු ලබන පිණිස, මෘගයාගේ රූපයට පණ දෙන්නට ද ඌට බලය දෙන ලදී. 16තවද ඌ, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, වහල්, නිවහල් යන හැමට ඔවුන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය. 17එසේ කළේ, මෘගයාගේ නාමය හෝ උගේ නමේ අංකය වන ඒ සලකුණ ඇතොත් මිස, මිලට ගැණුම් හෝ විකුණුම් හෝ කිසිවකුටත් කළ නො හැකි වන පිණිස ය.
18ප්‍රඥාව අවශ්‍ය මෙහිදී ය. වැටහීම ඇත්තා, මෘගයාගේ අංකය ගණන් කරත්වා. මන්ද එය මිනිසකුගේ අංකයකි. උගේ අංකය හයසිය හැටහය ය.

දැනට තෝරාගෙන ඇත:

එළිදරවු 13: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න