ගීතාවලිය 85

85
ගීතාවලිය 85
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගෙනි. ගීතයකි.
1ඔබගේ දේශයට, ඔබ කරුණාව දැක් වූ සේක.
අහෝ ස්වාමින්වහන්ස, යාකොබ්ගේ භාග්‍යය ඔබ යළි පිහිටෙවූ සේක.
2ඔබ, ඔබගේ ජනයාගේ වැරදි කමා කළ සේක;
ඔබ, ඔවුන්ගේ සියලු පාප මකා දැමූ සේක. සෙලා
3ඔබගේ සකල උදහස පසෙක තැබූ ඔබවහන්සේ,
ඔබගේ දැවෙන කෝපය අත් හළ සේක.
4යළි අප ප්‍රකෘතිමත් කළ මැනව, අහෝ දෙවියන්වහන්ස, අපගේ ගැලවුම්කරුවාණනි,
අප වෙත වූ නොරිස්සුම ඉවත දැමුව මැනව.
5සදහට ම ඔබවහන්සේ අප හා උරණ ව සිටින සේක් ද?
ඔබගේ කෝපය, පරපුරින් පරපුරට දික්ගස්සන සේක් ද?
6ඔබගේ ජනයා වන අප ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස,
යළි අප පුබුදුවන්නේ නැති ද?
7අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ ගැලවීම අපට දුන මැනව.
8 ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි;
තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක.
ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා!
9උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස,
උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය.
10නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි.
දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි.
11විශ්වසනීයත්වය පොළොවේ සිට ඉහළට පනින්නේ ය,
දමිටුකම ස්වර්ගයේ සිට පහළ බලන්නේ ය.
12සැබවින් ම ස්වාමින්වහන්සේ අනර්ඝ දෑම දෙන සේක,
එවිට අපගේ දේශය, එහි පලදාව හට ගන්වන්නේ ය.
13දමිටුකම උන්වහන්සේට පෙරටුව ගමන් කරමින්,
උන්වහන්සේගේ පියමනට මග සූදානම් කරන්නේ ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 85: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න