ගීතාවලිය 80

80
ගීතාවලිය 80
සංගීත අධ්‍යක්ෂක වෙත. “ගිවිසුමේ ෂූෂන් පුෂ්ප” තනුවට. ආසාෆ්ගෙනි. ගීතයකි.
1සවන් දුන මැනවි අපට, ඉශ්‍රායෙල්ගේ එඬේරාණනි,
බැටළු රැළකට සේ යෝසෙප්ට මගපෙන්වන්නාණනි;
කෙරුබිම් අතරේ සිංහාසනාරූඪ ව සිටින්නාණනි, බැබළුව මැනව.
2එප්‍රායිම් ද බෙන්යමින් ද මනස්සේ ද ඉදිරියේ
ඔබගේ පරාක්‍රමය පුබුදුකර,
පැමිණ, අප ගැලෙවුව මැනව.
3යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව.
අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස,
අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
4අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස,
තව කොතෙක් කලක් ඔබ ඔබගේ ජනයාගේ යාච්ඤාවලට
කෝප ගන්නා සේක් ද?
5ඔබ ඔවුන්ට කඳුළු රොටි කැවූ සේක;
විසල් බඳුනක් පුරවා කඳුළු ඔවුන්ට බොන්නට දුන් සේක.
6අප අසල්වැසි ජාතීන්ට අප කලහයට හේතුවක් වන්නට ඔබ මග පෑදූ සේක්;
අප සතුරෝ අපට සමච්චල් කරති.
7යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව.
අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස,
අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
8ඊජිප්තුවේ සිට මිදි වැලක් උදුරා ගෙනා ඔබ,
එය සිටුවූයේ සෙසු ජාතීන් පලවා හරිමිනි.
9ඒ වැල උදෙසා ඔබ බිම පිළියෙල කළ සේක;
එය මුල් ඇද, දේශය පුරා පැතිර, වැඩිණි.
10එහි සෙවණින් කඳුකරය ද
එහි අතුවලින් මහ දේවදාර ගස් ද වැසී ගියේ ය.
11එහි අතු මුහුද දක්වා ද
එහි ඉති ගංගාව#80:11 ගංගාව එනම් යුප්‍රටීස් දක්වා ද විහිදිණි.
12එසේ නම් ඔබ එහි තාප්ප බිඳ හෙළුවේ මක්නිසාද?
දැන් එමඟින් යන-එන්නන්ට එහි පල කඩා-වඩාගත හැකි ව ඇත.
13වල් ඌරෝ එය ආලාපාළු කරති;
වන සත්තු එය කා දමති.
14අප වෙත යළි අව මැනව, අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස!
ස්වර්ගයේ සිට පහතට නෙත් යොමා, බැලුව මැනව!
සැලකුව මැනව මේ මිදි වැල,
15ඔබගේ දකුණතින් ඉන්දූ පැළය,
ඔබ උදෙසා ඔබ වඩවා ගත් අත්ත ය.
16ඔබගේ මිදි වැල කපා දමනු ලැබ, ගින්නේ දවනු ලැබ ඇත;
ඔබගේ තරවටුවෙන් ඔවුහු වැනසෙති.
17ඔබගේ දකුණු පස සිටින මිනිසා පිට,
ඔබ උදෙසා ඔබ සවියෙන් වඩවා ගත් මනුෂ්‍ය පුත්‍රයා පිට ඔබගේ හස්තය රඳා සිටීවා!
18එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු;
අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු.
19යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව!
අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස,
අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 80: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න