ගීතාවලිය 77

77
ගීතාවලිය 77
සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්ට අනුව. ආසාෆ්ගෙනි. ගීතයකි.
1කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි;
උන්වහන්සේ මට කන්දෙන සේක.
2කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි;
රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි,
එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත.
3අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි;
මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා
4නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක;
මට කතා කරගන්නටවත් නො හැකි විය.
5යටගිය දවස් ගැන මම සිතුවෙමි,
ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි.
6රැයේදී මම මගේ ගීත සිහි කළෙමි.
මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි:
7“ස්වාමින් සදහට ම ප්‍රතික්ෂේප කරන සේක් ද?
යළි කිසි දින එතුමාණෝ කරුණා නො කරන සේක් ද?
8එතුමන්ගේ නොමියෙන පෙම සදහට ම අතුරුදහන් වී ද?
එතුමන්ගේ පොරොන්දු සැම කලට ම ඇනහිටියේ ද?
9දයා පෑමට දෙවියන්වහන්සේට අමතක වී ද?
එතුමෝ කෝපයෙන් තම අනුකම්පාව යටපත් කළ සේක් ද?” සෙලා
10එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ:
මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි.
11 ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.
12ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි,
ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.
13අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාර්ග ශුද්ධ ය;
අපගේ දෙවියන්වහන්සේ මෙන් උතුම් අන් කවර දෙවියන් ද?
14ඔබවහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේ ය;
ජනයා අතරේ ඔබ, ඔබගේ බලය විදහා දක්වන සේක.
15ඔබගේ බලවත් හස්තයෙන් ඔබ, ඔබගේ ජනයා වන
යාකොබ්ගෙන් ද යෝසෙප්ගෙන් ද පැවත එන්නන් මුදන සේක. සෙලා
16ජල කඳන් ඔබ දුටු විට, අහෝ දෙවියන්වහන්ස,
ජල කඳන් ඔබ දුටු කල ඇඹරුණේ ය;
මහා ගැඹුර ගැහෙන්නට වන්නේ ය.
17වලාකුළු ජලය වැගිරවී ය,
අහස ගිගුරුම් හඬින් රැව් දුන්නේ ය;
ඔබගේ විදුලි, හී මෙන් ඒ මේ අත විහිදිණි.
18සුළි සුළඟ මැද්දේ ඔබගේ හෙණ හඬ ඇසිණ,
ඔබගේ විදුලියෙන් ලොවට ම එළිය විහිදිණ;
පොළොව වෙවුලා දෙදරිණ.
19ඔබගේ අඩි පාර, මුහුද ඔස්සේ විය,
ඔබගේ මාවත මහා සාගර ජලය ඔස්සේ ගිය නමුදු,
ඔබගේ පියසටහන් දක්නට නො විණි.
20මෝසෙස්ගේ ද ආරොන්ගේ ද අත යටතේ බැටළු රැළක් පරිදි,
ඔබ, ඔබගේ ජනයාට මග පෙන් වූ සේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 77: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න