ගීතාවලිය 73
73
තුන් වන කාණ්ඩය
ගීතාවලිය 73–89
ගීතාවලිය 73
ආසාෆ්ගේ ගීතයකි.
1ඉශ්රායෙල් ජනයාට, හදවතින් පවිත්‍ර ඇත්තනට,
දෙවියන්වහන්සේ සැබවින් ම ගුණවත් ය.
2එහෙත් මගේ පාද, ලිස්සා යන්නට ඔන්න-මෙන්න විය;
තව ඩිංගෙන් මගේ අඩිය ලිස්සා යන්නට තිබිණි.
3මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල
ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි.
4ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ!
ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති.
5මිනිසාට පොදු කරදර, ඔවුනට නැත;
සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත.
6එබැවින් ඔවුන්ගේ ගෙලෙහි මාලය, අහංකාරයයි;
ඔවුන් අඳනා ඇඳුම, ප්රචණ්ඩත්වයයි.
7ඔවුන්ගේ තද හදවතින් අයුතුකම ගලා ඒ;
ඔවුන්ගේ සිත්වල දුෂ්ටකමෙහි කෙළවරක් නැත.
8ඔවුහු අනුනට ගරහති; දුෂ්ට අදහසින් ම කතා කරති;
තම අහංකාරයෙන් යුතු ව අනුනට තර්ජන කරති.
9ඔවුහු තම මුවින් ස්වර්ගයටත් අයිතිවාසිකම් කියති,
තම දිවෙන් මුළු පොළොව ම අයිති කර ගනිති.
10ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත හැරෙන්නේ එබැවිනි,
ඒ ජනයා ඔවුන්ගේ කියුම් වතුර මෙන් ගිල ගනිති.
11ඔවුහු අදහස් දක්වමින්, “දෙවියන්වහන්සේ මේවා කෙලෙස දැනගන්න ද?
මහෝත්තමයාණන්වහන්සේට මේ ගැන දැනුම් තේරුම් තිබේ දැ?” යි අසති.
12දුෂ්ට මිනිසුන්ගේ හැටි එලෙස ය.
ඔවුහු දුක් දොම්නසින් තොර ව වස්තු රැස් කර ගනිති.
13මගේ හදවත මා පවිත්‍ර ව තබාගත්තෙත්,
නිදොස්කමින් මගේ දෑත් සෝදාගත්තේත් සැබවින් ම පල රහිත ව ද!
14දවස්පතා, දවස පුරා මම හිරිහැර විඳිමින් සිටිමි,
උදයක් පාසා දඬුවම් ලබමින් සිටින්නෙමි.
15මමත් එලෙස කතා කළෙම් නම්,
මා ඔබේ දරුවන්ගේ පරපුර පාවා දුන්නා වීමට තිබිණි.
16මේ සියල්ල වටහා ගැනීමට මා වැර දැරූ කල,
එය මට මහත් අසීරු කටයුත්තක් විය.
17දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයට මා ඇතුළු වන තෙක් ම ඒ එසේ විය;
ඔවුන්ගේ අවසන් ඉරණම කවරේදැයි මට වැටහුනේ ඉන්පසුව ය.
18ඇත්තෙන් ම ඔබ ඔවුන් සිටවා තිබුණේ ලිස්සන තැනක ය.
ඔබ ඔවුන් විනාශයට හෙළා දමන සේක.
19ඔවුන් වැනසී ගියේ කොතරම් ඉක්මනින් ද!
ව්‍යසනයේ රැල්ලෙන් සපුරාම ඔවුන් ගසා ගෙන ගොස් ඇත්තේ,
20යමකු සිහිනයක් දැක, අවදි වුණාක් මෙනි;
අහෝ ස්වාමිනි, ඔබ පිබිදෙන විට මායාවන් සේ
ඔබ ඔවුන් පිළිකුල් කරන සේක.
21හදවතින් මා කම්පා වූ කාලයේ,
මගේ සිතුවිලි තික්තකමින් යුතු වූ කාලයේ,
22මම හරි වැටහීමෙන් තොර ව, අවිද්‍යාත්මක ව සිටියෙමි;
මම ඔබ ඉදිරියේ තිරිසන් සත්වයකු බඳු වීමි.
23එහෙත් මම හැම විටෙක ඔබ සමඟ වීමි;
ඔබ මගේ දකුණතින් අල්ලාගෙන ම සිටි සේක.
24ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක,
අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක.
25ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද?
මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත.
26මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත,
එහෙත් මගේ හදවතේ ශක්තියත්,
සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය.
27ඔබගෙන් ඈත් ව සිටින්නෝ වැනසී යන්නෝ ය;
ඔබට අවිශ්වාස වන සියල්ලන් ඔබ විනාශ කර දමන සේක.
28එහෙත් මට, දෙවියන්වහන්සේට ළං ව සිටීම යහපත.
පරමාධිපති ස්වාමින්වහන්සේ මම මගේ සරණය කර ගතිමි;
ඔබ කළ හැම දේ මම ප්‍රකාශ කරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 73: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.