ගීතාවලිය 69:1-12

ගීතාවලිය 69:1-12 SCV

මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ. පය ගසා ගන්නට ඉඩක් නැති, ගැඹුරු මඩ ගොහොරුවෙහි මා කිඳා බසී. ජල ධාරාවලින් වෙළා ගනු ලැබ, මා සිටින්නේ ගැඹුරු දියේ ය. පිහිට ඉල්ලා මොර ගැසීමෙන්, මම විඩාවට පත් ව සිටිමි; මගේ උගුර ද හොඳට ම වේළී ගොසිනි. දෙවියන්වහන්සේ දෙස බලා සිටීමෙන්, මගේ දෙනෙත ද අඳුරු වී යයි. අහේතුක ව මට වෛරවන්නෝ ගණනින් මගේ හිසකේවලටත් වඩා වැඩි ය; මා වනසා දමන්නට මාන බලන, නිකරුණේ මට සතුරු වූවෝ බොහෝ ය. මවිසින් සොරකම් නො කරන ලද දෑ, ආපසු දෙන්නැයි මට බල කරනු ලැබේ. අහෝ දෙවියන්වහන්ස, මගේ අනුවණකම ඔබ දන්නා සේක; මගේ වැරදි ඔබ ඉදිරියේ සැඟවී නැත. අහෝ ස්වාමිනි, සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබ තුළ බලාපොරොත්තු තබා ඇති අය මා නිසා නින්දාවට නො පැමිණෙත්වා! අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබේ සරණය සොයන්නෝ මා නිසා ලජ්ජාවට නො පැමිණෙත්වා! මන්ද මම ඔබ උදෙසා නින්දා දරා ගනිමි; ලජ්ජාවෙන් මගේ මුහුණ වැසී යයි. මගේ ම සහෝදරයන්ට මා ආගන්තුකයෙකි, මගේ මවුගේ කුසින් බිහි වූ සෙසු දරුවනට මා විදේශිකයෙකි; ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ, ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට වැටිණි. මම වැලපීමෙන් හා නිරාහාර ශීලයෙන් සිටින කල, එය මට නින්දාවක් විය; ශෝක වීමේ ලකුණක් වශයෙන් මා ගෝණි රෙදි මගේ ඇඳුම කර ගත් කල, ජනයා මා විහිළුවකට බාර ගත්හ. පුර දොරටු ප්‍රජා පොළේ හිඳ සිටින්නවුන්ගේ කතාව මා ගැන ය, බේබද්දන්ගේ ගීතය ද මා ය.