ගීතාවලිය 56:1-13

ගීතාවලිය 56:1-13 SCV

මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මිනිස්සු මා ලුහුබැඳ එති; ඔවුහු දවස මුළුල්ලේ පහර දීම දැඩි කරති. මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති; බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති. මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද? දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති; හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති. ඔවුහු රැස් ව මන්ත්‍රණ කරති; රහසේ රැක සිටිති; මා යන එන තැන් ගැන විපරමින් සිටිති; මගේ දිවි තොර කරන්නට උත්සුක වෙති. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔවුනට ගැලවී යන්නට ඉඩ නුදුන මැනව; අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කෝපයෙන් ඒ ජාතීන් ඇද දැමුව මැනව. මගේ විලාපය වාර්තා කර ගත මැනව; මගේ කඳුළු ඔබගේ සම් බඳුනෙහි රැස් කොට මැන බැලුව මැනව, ඔබ ඒවා සටහන් කර ගෙන නැති ද? එවිට උපකාර ඉල්ලා මා හඬ ගසන කල, මගේ සතුරන් ආපසු හැරී යනු ඇත; දෙවියන්වහන්සේ මගේ පැත්තට වග එවිට මම දැන ගන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේ තුළ, මා වර්ණනා කරන වචනය හිමි ස්වාමින්වහන්සේ තුළ, එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද? මම ඔබට භාරයක් වුණෙමි, අහෝ දෙවියන්වහන්ස, මගේ ස්තුති පූජා, මම ඔබට පිළිගන්වන්නෙමි. මන්ද ඔබවහන්සේ මරණයෙන් මා ගැලවූ සේක; පැකිළ වැටීමෙන් මගේ පා වැළකූ සේක; එසේ කළේ, දෙවියන්වහන්සේ ඉදිරියේ මා ජීවන ආලෝකයේ හැසිරෙන පිණිස ය.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 56:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය