ගීතාවලිය 45:1-9

ගීතාවලිය 45:1-9 SCV

රජු උදෙසා, මා මේ ගී පද ගයන කල, රාජකීය තේමාවකින් මහද පිනා යයි; මගේ දිව නිපුණ රචකයකුගේ පන්හිඳක් ය. මිනිසුන් අතර ඉතාම කඩවසම් තැනැත්තා ඔබ ය; ඔබගේ දෙතොල අනුග්‍රහයෙන් ආලේපිත ය; මන්ද දෙවියන්වහන්සේ ඔබට සදාතනික ව ආශිර්වාද කර ඇත. ඔබගේ අසිපත ඔබගේ ඉඟ බැඳ ගනු මැනව. එම්බා බලවන්තයාණනි, ශෝභාශ්‍රීයෙන් හා තේජශ්‍රීයෙන් සැරසුන මැනව. සත්‍යයේ, නිහතමානීත්වයේ හා දමිටුකමේ නාමයෙන් ඔබගේ තේජශ්‍රීයෙන් යුතු ව, ජයග්‍රාහී ව රථයෙන් වඩින්න. ඔබගේ දකුණතින් භයංකර ක්‍රියා කෙරේවා. ඔබගේ ඊ ගස්, රජුගේ සතුරන්ගේ හදවත් සිදුරු කර යේවා! සෙසු ජාතීන් ඔබගේ පාමුල වැටේවා! අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය, සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කර ඔබේ සහකරුවනට, ඉහළින් ඔබ පිහිටෙවු සේක. ඔබ හඳිනා ලෝගුවල, සුවඳලාටු, අගිල් හා දවුල්කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්-දළින් අලංකෘත මාලිගාවල නැගෙන තන්ත්‍රි තූර්ය වැයුමෙන් ඔබ විනෝදවත් කෙරේ. ඔබගේ ප්‍රිය කුලකතුන් අතර රජවරුන්ගේ දූ කුමරියෝ වෙති; ඔබගේ දකුණු පස සිටින්නේ, ඕෆීර්හි රනින් පැලඳි අග බිසව ය.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 45:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය