ගීතාවලිය 28

28
ගීතාවලිය 28
දාවිත්ගෙනි.
1මා හඬ ගසන්නේ ඔබට ය, අහෝ ස්වාමින්වහන්ස,
මගේ පර්වතයාණෙනි,
මට කන් වසා නො ගත මැනව;
මට පිහිට නො වී ඔබ නිහඬ ව සිටියොත්,
මා ද මළවුන් අතරට ගිය එකකු මෙන් වනු ඇත.
2උපකාර ඉල්ලා මා ඔබට මොර ගසන කල,
ඔබේ අතිශුද්ධස්ථානය දෙසට අත් ඔසවා මා යදින කල,
දයාව ඉල්ලන මගේ කන්නලව්වට
සවන් දුන මැනව.
3තම සිත්හි ද්වේෂය සඟවාගෙන,
තම අසල්වාසීන් හා උඩින් මිතුරු ව කතා කරන
දුෂ්ටකම් කරන්නන් සමඟ
මා ඉවත ඇද නො දමනු මැනව.
4ඔවුන්ගේ ක්‍රියාවනට හා ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඔවුන්ට පල දුන මැනව;
ඔවුන්ගේ අත්වලින් කළ නපුරුකම්වලට ඔවුන්ට පල දුන මැනව;
ඔවුන් කළ දෑට හිමි අනිටු විපාකය
ඔවුන් පිටට එවනු මැනව.
5 ස්වාමින්වහන්සේ කළ දෑ ගැන,
උන්වහන්සේගේ දෑතේ වැඩ ගැන ඔවුන් නො සැලකූ බැවින්,
උන්වහන්සේ ඔවුන් කඩා බිඳ දමන සේක;
යළි ඔවුන් ගොඩ නගන්නේ නැත.
6 ස්වාමින්වහන්සේට පැසසුම් වේවා!
මන්ද, උන්වහන්සේ දයාව ඉල්ලන මගේ කන්නලව්වට කන් දුන් සේක.
7 ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය, මගේ පලිහ ය;
මගේ මුළු හදින් ම උන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි.
එබැවින් දැන් පිහිට ලබමි; මගේ හද ප්‍රීතියෙන් පිනා යයි;
මම ගී ගයමින්, උන්වහන්සේට තුති පුදමි.
8 ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය;
උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය.
9අහෝ, ඔබගේ ජනයා ගැලෙවුව මැනව; ඔබගේ උරුමය වූ ජනයාට ආශිර්වාද කළ මැනව;
ඔවුන්ගේ එඬේරාණන් වී, සදහට ම ඔවුන් උසුලා, ගෙන ගිය මැනව.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 28: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න