ගීතාවලිය 147

147
ගීතාවලිය 147
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
අපේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගැයීම කොතරම් අගනේ ද!
මන්ද එය එතරම් ප්‍රිය ජනක ය; පැසසුම් ගීය හොබනේ ය.
2 ස්වාමින්වහන්සේ යෙරුසලම ගොඩ නගන සේක;
ඉශ්‍රායෙල් පිටුවහලුන් උන්වහන්සේ එක් රැස් කරන සේක.
3උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්;
ඔවුන්ගේ තුවාල බඳින සේක.
4උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්,
ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක.
5අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්‍රමවත් ය;
උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය.
6 ස්වාමින්වහන්සේ යටහතුන් උසුලා දරන සේක්,
දුෂ්ටයින් බිම හෙළා දමන සේක.
7ස්තුති දෙමින්, ස්වාමින්වහන්සේට ගී ගයන්න;
වීණා වයමින්, අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ සංගීතවත් වන්න.
8උන්වහන්සේ වලාකුළුවලින් අහස වසන සේක්,
පොළොවට වැසි වස්සවා,
කඳු ගැට මත, තෘණ වැවෙන්නට සලසන සේක.
9උන්වහන්සේ මෘගයින්ටත්, කෑම ඉල්ලා හඬ ගසන කපුටු පැටවුන්ටත්
උන්ගේ අහර සපයා දෙන සේක.
10උන්වහන්සේගේ ප්‍රසන්නතාව, අශ්වයන්ගේ ශක්තිය තුළ නො වේ;
මිනිසකුගේ වේගවත් පාද තුළ උන්වහන්සේට සතුටක් නැත.
11උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් තුළ,
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය තුළ බලාපොරොත්තු තබන්නන් තුළ ස්වාමින්වහන්සේට ප්‍රීතිය ඇත්තේ ය.
12එම්බා යෙරුසලම, ස්වාමින්වහන්සේ වර්ණනා කරනු;
එම්බා සියොන, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනු.
13මන්ද ඔබේ දොරටුවල අගුල්, උන්වහන්සේ ශක්තිමත් කරන සේක;
ඔබ තුළ ඔබේ දරුවන්ට ආශිර්වාද කරන සේක.
14ඔබගේ සීමාවන් ඇතුළතට උන්වහන්සේ සාමය සලසන සේක්,
අනර්ඝ ධාන්‍යයෙන් ඔබ පුරවන සේක.
15උන්වහන්සේ තම අණ, පොළොවට එවන සේක;
එසේ ආ වචනය, ජව වේගයෙන් දිවේ.
16උන්වහන්සේ හිම, ලොම් සේ අතුරන සේක්;
පිනි කැට, අළු මෙන් විසුරුවන සේක.
17උන්වහන්සේ තම හිම පළිඟු කැට, ගල් කැබලි සේ බිම හෙළන සේක;
උන්වහන්සේගේ ශීතල හමුවේ සිටගත හැක්කේ කවරකුට ද?
18උන්වහන්සේ තම වචනය එවා, ඒවා දියකර හරින සේක;
උන්වහන්සේ තම සුළං හමන්නට සලස්වා, ජලය ගලා යවන සේක.
19උන්වහන්සේ තම වචනය යාකොබ්ට ද
තම නියෝග හා නියමයන්, ඉශ්‍රායෙල්ට ද ප්‍රකාශ කළ සේක.
20අන් කිසි ජාතියකට උන්වහන්සේ මෙවැන්නක් නො කළ සේක;
ඔවුහු උන්වහන්සේගේ නියමයන් දන්නේ නැත.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 147: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න