ගීතාවලිය 141:1-10

ගීතාවලිය 141:1-10 SCV

මම ඔබට හඬ ගසමි, අහෝ ස්වාමින්වහන්ස, විගස මා වෙත ආ මැනව; මා ඔබට හඬ ගසන කල, මගේ කටහඬට සවන් දුන මැනවි. මගේ යැදුම්, ඔබ ඉදිරියේ පිදෙන සුවඳ දුම් සේ ද මගේ අත් එසවීම, සවස යාග පූජාව සේ ද වේවා. මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා. අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී, දුෂ්ට ක්‍රියාකාරකම්වල නො ගැලෙන පිණිස, නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව; ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව. දමිටු මිනිසකු මට පහර දේවා; එය කාරුණිකත්වයකි. ඔහු මට තරවටු කරත්වා; එය මගේ හිසේ තෙල් ගැල්වීමකි. මගේ හිස එය ප්‍රතික්ෂේප කරනු නැත. එහෙත් මගේ යැදුම කවදත් දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව ය. ඔවුන්ගේ විනිසුරුවන්, කන්දෙන් පහළට ඇද දමනු ලැබූ කල, මගේ වචන යෝග්‍ය වග ඔවුන් ඉගෙන ගනු ඇත. යමකු බිම හෑමෙන් පස පෙරළන්නේ යම් සේ ද, අපගේ ඇටකටු ෂෙයෝල් කටේ විසිරෙන්නේ ද එලෙසිනි. අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ දෑස් ඔබ වෙත යොමා තිබේ. මම ඔබගේ පිළිසරණ සොයා එමි; මා අනාරක්ෂිත ව නො තැබුව මැනවි. මා හසුකර ගැනීමට ඔවුන් හැදූ උගුල්වලින්, දුෂ්ටකම් කරන්නන් අටවා ඇති මලපුඩුවලින් මා ඈත්කර තැබුව මැනව. මා සුරක්ෂිත ව ඒවා පසු කර යන අතරේ, ඔවුන් එළූ දැලෙහි ඔවුන් ම පැටලේවා!