ගීතාවලිය 140

140
ගීතාවලිය 140
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1බේරාගත මැනවි මා, දුෂ්ට මිනිසුන්ගෙන් අහෝ ස්වාමින්වහන්ස,
ආරක්ෂා කළ මැනවි මා සැහැසි මිනිසුන් වෙතින්.
2තම හදින් දුෂ්ට ප්‍රයෝග සැලසුම් කරන ඔවුහු
දිනපතා යුද ගිනි අවුළති.
3ඔවුහු තම දිව්, සර්පයින්ගේ මෙන් තියුණු කරවූහ;
ඔවුන්ගේ දෙතොල් මත ඇත්තේ පොළොං විස ය. සෙලා
4ඈත්කර තැබුව මැනව මා දුෂ්ටයින්ගේ අත්වලින් අහෝ ස්වාමින්වහන්ස;
මගේ පා පැකිළවන්නට උපා යොදන,
සැහැසි මිනිසුන්ගෙන් මා ආරක්ෂා කළ මැනව.
5අහංකාරීහු රහසේ මට උගුලක් ඇටවූවෝ,
තම දැලෙහි රැහැන් එළා තැබුවෝ ය;
මා යන මග දිගේ ඔවුහු මලපුඩු ඇටවූහ. සෙලා
6“ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ යැ” යි මම ඔබ අමතමි අහෝ ස්වාමින්වහන්ස.
දයාව ඉල්ලා කරන මගේ හඬ ගෑමට, සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස.
7අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ ගැලවීමේ ශක්තිය වූ ඔබ
මා සටනේ නියැළී සිටින දවසේ, මගේ හිස ආවරණ කළ සේක.
8දුෂ්ටයින්ගේ අභිමතය අනුමත නො කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස;
ඔවුන්ගේ දුෂ්ට සැලසුමට ඉඩ නුදුන මැනව. සෙලා
9අහංකාර ලෙස මා වටකොටගෙන සිටින්නන්ගේ හිස්
ඔවුන්ගේ ම මුවින් ඉපැද්දූ විපත්තිවලින් වැසී යේවා!
10ඇවිළෙන ගිනි අඟුරු ඔවුන් පිට වැටේවා;
යළි නැගිටිය නො හැකි ගොහොරු වළෙක
ගින්නට ඔවුන් ඇද දමනු ලැබේවා.
11අපහාස කරන්නන් දේශයෙහි පිහිටවනු නො ලබත්වා;
විපත්තිය, සැහැසි මිනිසුන් ලුහුබැඳ, වහා අල්ලාගනීවා.
12 ස්වාමින්වහන්සේ දුප්පතාට යුක්තිය ඉටු කරන වග ද
දිළිඳාගේ පක්ෂය ගන්නා බව ද මම දනිමි.
13ධාර්මිකයෝ සැබවින් ම ඔබගේ නාමය පසසනු ඇත.
ඍජු ගුණ ඇත්තෝ ඔබ හමුවේ ජීවත් වනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 140: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න