ගීතාවලිය 139:1-17

ගීතාවලිය 139:1-17 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක. මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක. මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ, මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක. මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක. පසුපසින් ද ඉදිරියෙන් ද මා වටලාගෙන ඇති ඔබ, ඔබගේ හස්තය මා පිට තබා ඇත. එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි; මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය. ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද? ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී; මා ෂෙයෝලයේ සැතපුණත්, ඔබත් එතැන සිටී. අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය; ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය. “අඳුර සැබවින් ම මා සඟවා ගනීවි; මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්, අඳුර පවා ඔබට අඳුරක් නො වේ; රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි. මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත. මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී. රහසේ මා සැදුම් ලබන කල, පොළෝ ගැඹුරේ දුරවබෝධ ව මා නිර්මිත වන කල, මගේ සැකිල්ල ඔබගෙන් සැඟවී තිබුණේ නැත. මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි; මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර, ඔබගේ පොතේ ලියනු ලැබිණ. ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද!

ගීතාවලිය 139:1-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය