ගීතාවලිය 119

119
ගීතාවලිය 119
א ආලෙෆ්
1තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ,
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය.
2උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ,
තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය;
3කිසි වරදක් නො කරන ඔවුහු,
උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති.
4උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා,
ඔබ නියම කළ සේක.
5අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා
මගේ මාර්ග ස්ථිර වී නම්!
6ඔබගේ ආඥා සියල්ල වෙත මා නෙත් යොමු කරනා කල,
මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.
7ඔබගේ දමිටු නියමයන් උගෙනිද්දී
මම, අවංක හදකින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
8ඔබගේ නියෝග, මම පිළිපදින්නෙමි.
මුළුමනින් මා අත්හැර නො දැමුව මැනව.
ב බේත්
9යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද?
ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි.
10මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි;
ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි.
11ඔබට එරෙහිව පව් නො කරන පිණිස,
ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි.
12ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස;
ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව.
13ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්,
මගේ දෙතොලතරින් මම පවසන්නෙමි.
14ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ,
සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි.
15ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්,
ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි.
16ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්,
ඔබගේ වචනය අමතක නො කරන්නෙමි.
ג ගීමෙල්
17මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස,
ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව.
18ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස,
මගේ නෙත් විවර කළ මැනව.
19මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි;
ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව.
20ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන්
මා ජීවය හැම විට ඇවිළේ.
21ඔබගේ ආඥාවලින් බැහැර ව,
මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක.
22ඔවුන් කරන අවඥා හා අවමාන මා වෙතින් පහ කළ මැනව;
මන්ද මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි.
23අධිපතීන් එක් ව හිඳ, මට එරෙහිව කුමන්ත්‍රණ කළත්,
ඔබගේ සේවක මම ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි.
24ඔබගේ පනත් මගේ සොම්නස ය;
මගේ උපදේශකයන් ය.
ד දාලෙත්
25මගේ ජීවය දූවිල්ලට ඇලී ඇත;
ඔබගේ වචනයට අනුව මා තුළ යළි පණ පිහිටුව මැනවි.
26මගේ මාර්ග මා ඔබට කී කල, ඔබ මට පිළිතුරු දුන් සේක;
ඉගැන්නුව මැනවි මට ඔබගේ නියෝග.
27ඔබගේ ශික්ෂා මාර්ග මට වටහා ගන්නට සැලසුව මැනවි.
ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා ගැන එවිට මම මෙනෙහි කරන්නෙමි.
28මගේ ජීවය ශෝකයෙන් දියවී යයි;
සවිමත් කළ මැනව මා, ඔබගේ වචනය ලෙස.
29බොරුව මා වෙතින් දුරු කළ මැනව;
ඔබේ ව්‍යවස්ථාව, කරුණාවෙන් මට ඉගැන්නුව මැනව.
30මම විශ්වසනීයත්වයේ මාර්ගය තෝරා ගතිමි.
ඔබගේ නියමයන් මා ඉදිරියේ තබා ගතිමි.
31ඔබේ පනත්වලට මම ඇලී සිටිමි. අහෝ ස්වාමින්වහන්ස;
ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනව.
32මා හදේ දැනගැන්ම, ඔබ පුළුල් කළ විට,
ඔබගේ ආඥා මාවතේ මම දුවන්නෙමි.
ה හේ
33උගන්වන්න මට ඔබගේ නියෝග පිළිපැදීමට, අහෝ ස්වාමින්වහන්ස;
අවසානය දක්වා මම ඒවා රක්ෂා කරන්නෙමි.
34අවබෝධය දුන මැනව මට; ඔබගේ ව්‍යවස්ථාව පිළිපැදීමට හා
මගේ මුළු හදින් එය රක්ෂා කරන පිණිස.
35ඔබගේ ආඥා මාවතේ මට මගපෙන්වුව මැනව;
මන්ද ඒ තුළ මම ප්‍රමෝද වන්නෙමි.
36පෞද්ගලික වාසිය දෙසට නො ව,
ඔබේ පනත් වෙත මගේ හදවත නැමුව මැනව.
37නිෂ්ඵල දෑ වෙතින් මගේ දෑස ඉවත හරවා,
ඔබේ මාර්ග තුළ මට ජීවනය දුන මැනව.
38ඔබට භය පක්ෂපාත වන පිණිස,
ඔබේ සේවකයාට ඔබේ පොරොන්දුව තහවුරු කළ මැනව.
39මා බය වන නින්දාව ඉවත හැරෙවුව මැනව;
මන්ද ඔබගේ නියමයන් අගනේ ය.
40මෙන්න, ඔබගේ ශික්ෂාවනට මම කොතරම් ආශා වෙම් ද!
ඔබගේ ධර්මිෂ්ඨකම තුළ මට ජීවනය දුන මැනව.
ו වාව්
41ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම,
මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස,
42එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය;
මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි.
43සත්‍යතාවේ වචනය මගේ මුවින් මුළුමනින් ඉවතට නො ගත මැනව;
මන්ද මගේ බලාපොරොත්තු ඔබගේ නියමයන් තුළ ය.
44ඔබේ ව්‍යවස්ථාව සදහට,
සදාතනික ව නොකඩව පවත්වන්නෙමි.
45මම නිදහස්කමින් ගමන් කරන්නෙමි;
මන්ද මම ඔබේ ශික්ෂා අනුව පැවතුණෙමි.
46ඔබගේ පනත්, මම රජුන් ඉදිරියේ ද පවසන්නෙමි.
මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.
47මන්ද මා ප්‍රේම කරන,
ඔබේ ආඥා තුළ මම මගේ ප්‍රමෝදය ලදිමි.
48මා ප්‍රේම කරන, ඔබේ ආඥා දෙසට මම මගේ අත් ඔසවා,
ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි.
ז සයින්
49මට බලාපොරොත්තුවක් ඇති කරමින්,
ඔබේ සේවකයාට වූ වචනය සිහි කළ මැනවි.
50ඔබගේ පොරොන්දුව මට ජීවනය ගෙන දෙයි:
මගේ වේදනාවේදී මගේ සැනසිල්ල ද එයයි.
51අහංකාරීහු දැඩි ලෙස මට සමච්චල් කරති;
එහෙත් ඔබගේ ව්‍යවස්ථාව වෙතින් මම ඉවත නො හැරෙන්නෙමි.
52ඔබගේ ඒ පුරාණ නියමයන් කල්පනාවට ගන්නා කල,
අහෝ ස්වාමින්වහන්ස, ඒවා තුළ සැනසිල්ල අත්දකිමි.
53ඔබගේ ව්‍යවස්ථාව අත් හළ දුෂ්ටයින් නිසා
කෝපය මා වෙළා ගනී.
54මගේ මේ තාවකාලික පදිංචියේදී
ඔබගේ නියෝග මගේ ගීත වේ.
55අහෝ ස්වාමින්වහන්ස, රාත්‍රියේදී මම ඔබගේ නාමය සිහි කොට,
ඔබගේ ව්‍යවස්ථාවට කීකරු වන්නෙමි.
56ඔබගේ ශික්ෂා පිළිපැදීමේ හේතුවෙන්
මෙය මට ලැබී ඇත.
ח හේත්
57 ස්වාමින්වහන්සේ මගේ උරුම කොටස ය;
ඔබේ වචනවලට අවනත වීමට මම පොරොන්දු වන්නෙමි.
58මගේ මුළු හදින් ම මම ඔබේ පිහිට සොයන්නෙමි;
ඔබගේ පොරොන්දුව ලෙස මට දයා වුව මැනවි.
59මගේ මාර්ග කල්පනාවට ගත් මම,
ඔබගේ පනත්වලට මගේ පාද හරවා ගතිමි.
60ඔබගේ ආඥා පැවැත්වීමට මම ඉක්මන් වන්නෙමි,
පමා නො වන්නෙමි.
61දුෂ්ටයින්ගේ රැහැන් මා වෙළා ගත්ත ද,
ඔබේ ව්‍යවස්ථාව අමතක නො කරමි.
62ඔබේ ධර්මිෂ්ඨ නියමයන් නිසා,
ඔබ පසසන්නට රැය මැදියමේ මම පිබිදෙන්නෙමි.
63ඔබට භය පක්ෂපාතී සියල්ලන්ගේ,
ඔබගේ ශික්ෂා පිළිපදින සියල්ලන්ගේ මිත්‍රයෙක්මි මම.
64ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් මිහිතලය ම පිරිලා ය,
අහෝ ස්වාමින්වහන්ස, මට ඔබගේ නියෝග ඉගැන්නුව මැනව.
ט ටේත්
65ඔබගේ වචනය ලෙස, ඔබ, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ සේවකයාගේ යහපත උදෙසා කටයුතු කළ සේක.
66නිවැරදි විනිශ්චය හා දැනගැන්ම මට ඉගැන්නුව මැනව;
මන්ද ඔබගේ ආඥා තුළ මට විශ්වාසය ඇත.
67පීඩා මගින් මා හික්මවනු ලබන්නට පෙර, මම මුළාව ගියෙමි;
එහෙත් දැන්, ඔබේ වචනය රක්ෂා කරන්නෙමි.
68ඔබවහන්සේ යහපත් ය; කරන්නේ ද යහපත ය;
ඔබගේ නියෝග මට ඉගැන්වුව මැනව.
69අහංකාරීන් මා ගැන බොරු ගොතා කීව ද,
මගේ මුළු හදින් මම ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
70ඔවුන්ගේ හදවත්, නිර්වින්දිත ය; දයා විරහිත ය;
එහෙත් මම ඔබේ ව්‍යවස්ථාව තුළ ප්‍රමෝද වෙමි.
71ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස,
පීඩා විඳීම මට හොඳ ය.
72රන්මසු හා රිදී දහස් ගණනකටත් වඩා
ඔබගේ මුවෙහි ව්‍යවස්ථාව, මට අගනේ ය.
යෝද්
73මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි;
ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව.
74ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා;
මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත.
75අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්,
ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි.
76ඔබගේ සේවකයාට, ඔබගේ පොරොන්දුව පරිදි,
ඔබගේ නොමියෙන ප්‍රේමය, මගේ සැනසිල්ල වේවා.
77මා ජීවත් වන පිණිස, ඔබගේ දයාව මා වෙත ඒවා!
මන්ද ඔබගේ ව්‍යවස්ථාව, මගේ සොම්නසයි.
78අහංකාරීන් කපටකමින් මට අයුත්ත කළ බැවින්, ඔවුන් ලජ්ජාවට පත් කරනු ලැබේවා;
එහෙත් මම, ඔබගේ ශික්ෂා භාවනා කරන්නෙමි.
79ඔබගේ පනත් දැනගන්නා පිණිස,
ඔබට භය පක්ෂපාතී ඇත්තෝ මා වෙත හැරෙත්වා!
80මා ලජ්ජාවට පත් නො වන පිණිස,
මගේ හදවත ඔබගේ නියෝග ඉදිරියේ නිදොස් ව තිබේවා!
כ කෆ්
81මගේ ජීවය, ඔබගේ ගැලවීම ගැන දැඩි සේ ආශා වෙයි;
ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තු තබමි.
82මගේ ඇස්, ඔබගේ පොරොන්දුව ගැන ආශා වෙයි,
“ඔබ කවදා මා සනසවන සේක් දැ” යි මම අසමි.
83මම දුම්ගොඩේ හම් බඳුනක් බවට පත් ව සිටිමි.
එහෙත් ඔබගේ නියෝග මා අමතක කර නැත.
84තව කොතෙක් කලක් ඔබගේ සේවකයා දරා සිටින්න ද?
මට පීඩාකරන්නා ඔබ විනිශ්චය කරන්නේ කවදා ද?
85අහංකාරීහු මට වළවල් හෑරුවෝ ය,
ඔවුන් ඔබගේ ව්‍යවස්ථාවට අනුකූලව පැවත සිටින්නේ නැත.
86ඔබගේ ආඥා සියල්ල විශ්වසනීය ය.
ඔවුන් මට පීඩා කරන්නේ අහේතුක ව ය; මට පිහිට වුව මැනව.
87ඔවුහු පොළොවේදී මුළුමනින් ම පාහේ මා නැති කළෝ ය.
එහෙත් මම ඔබගේ ශික්ෂාවන් අතනෑරීමි.
88ඔබගේ මුඛයේ පනත් පවත්වන පිණිස
ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් මට ජීවනය දුන මැනව.
ל ලාමෙද්
89සදහට ම අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ වචනය ස්වර්ගවල ස්ථාවර ව පිහිටා ඇත.
90ඔබගේ විශ්වසනීයත්වය, සියලු පරම්පරා ඔස්සේ පවතී;
ඔබවහන්සේ පොළොව ස්ථාපිත කළ සේක්, එය ද නො සැලී පවතී.
91ඔබගේ නියමයන් මගින් ඒවා අද දවස දක්වාත් පවතී;
මන්ද හැම දෙයක් ම ඔබගේ සේවකයන් ය.
92ඔබගේ ව්‍යවස්ථාව, මගේ ප්‍රමෝදය නො වී නම්,
මගේ විපත්තියේදී මා වැනසී යන්නට තිබිණි.
93ඔබගේ ශික්ෂා කිසි කල අමතක නො කරමි;
මන්ද ඔබ මට ජීවනය දුන්නේ ඒවා මගිනි.
94මා ඔබගේ ය, ගැලෙවුව මැනවි;
මන්ද මම ඔබගේ ශික්ෂා සෙවුවෙමි.
95මා විනාශ කර දමන්නට, සතුරෝ රැක සිටිති.
එහෙත් මම ඔබගේ පනත් කල්පනාවට ගන්නෙමි.
96පරිපූර්ණ හැම දෙයක සීමාවක් ඇති වග මම දැක ඇත්තෙමි.
එහෙත් ඔබගේ ආඥා අතිශයෙන් ම පුළුල් ය.
מ මේම්
97ඔබගේ ව්‍යවස්ථාවට මම කෙතරම් ප්‍රේම කරම් ද!
දවස මුළුල්ලේ මගේ භාවනාව එයයි.
98ඔබගේ ආඥා මගේ එදිරිවාදීන්ට වඩා මා ප්‍රඥාවත් කරයි.
ඒවා හැම වේලේ මා සමඟ ය.
99මගේ සියලු ගුරුවරුනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ,
මගේ භාවනාව ඔබගේ පනත් වන බැවිනි.
100වැඩිහිටියනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ,
මා ඔබගේ ශික්ෂාවනට කීකරු වන බැවිනි.
101ඔබගේ වචනය පිළිපදින පිණිස,
මම මගේ පාද නපුරු මාර්ගවලින් වළකා ගතිමි.
102ඔබගේ නියමයන් වෙතින් මා ඉවත හැරී නො ගියේ,
ඔබ මට ඉගැන් වූ බැවිනි.
103ඔබගේ වචන මගේ දිවට කොතරම් මිහිරි ද?
මගේ මුඛයට ඒවා මී පැණිවලට වඩා මිහිරි ය.
104මා අවබෝධය ලබා ගන්නේ, ඔබගේ ශික්ෂාවලිනි;
හැම වැරදි මාවතක් මා නුරුස්සන්නේ එබැවිනි.
נ නූන්
105ඔබගේ වචනය මගේ දෙපයට පහනකි;
මගේ මාවතට එළියකි.
106ඔබගේ ධර්මිෂ්ඨ නියමයන් පිළිපදින්නට,
දිවුරුමකින් ශපථ කළෙමි. එය තහවුරු කළෙමි.
107මම තදබල ලෙස පීඩා කරනු ලැබීමි, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ වචනයට අනුව මට ජීවනය දුන මැන.
108ස්ව-කැමැත්තෙන් මා කරන පැසසුම් පූජා පිළිගත මැනව,
අහෝ ස්වාමින්වහන්ස, ඉගැන්නුව මැනවි ඔබගේ නියමයන් මට.
109මගේ ජීවිතය නිරතුරු ව ම මගේ අත්වල දරන්නෙමි;
එහෙත් ඔබේ ව්‍යවස්ථාව, මම අමතක නො කරමි.
110දුෂ්ටයින් මට උගුලක් අටවා ඇත;
එහෙත් ඔබගේ ශික්ෂාවලින් මම ඉවත හැරී නො ගියෙමි.
111ඔබගේ පනත් මගේ සදාතන උරුමය වෙයි;
මන්ද මගේ හදවතේ ප්‍රීතිය ඒවා ය.
112අවසන් කෙළවර දක්වා සදාතනික ව ම
ඔබගේ නියෝග පිළිපදින්නට මගේ හදවත නැඹුරු කර ගතිමි.
ס සාමෙක්
113දෙසිත් ඇත්තවුනට මම ද්වේෂ කරමි;
එහෙත් ඔබගේ ව්‍යවස්ථාවට, මම ප්‍රේම කරමි.
114මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය;
ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි.
115මගේ දෙවියන්වහන්සේගේ ආඥා මවිසින් පිළිපදින පිණිස,
දුෂ්ටකම් කරන්නෙනි, මවෙතින් ඉවත යව්.
116මා ජීවත් වන පිණිස, ඔබගේ පොරොන්දුව ලෙස මා උසුලාගත මැනව;
මගේ බලාපොරොත්තුව ගැන ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි.
117මා සුරක්ෂිත වන පිණිස මා ඉසුලුව මැනව;
එමඟින් නොකඩව ඔබගේ නියෝග සැලකිල්ලට ගනිමි.
118ඔබගේ නියෝගවලින් ඉවත් ව, මුළාව යන සියල්ලන් ඔබ ප්‍රතික්ෂේප කරන සේක;
මන්ද ඔවුන්ගේ රැවටිලිකාරකම නිෂ්ඵල ය.
119පොළොවේ සියලු දුෂ්ටයින් රොඩු සේ ඔබ ඉවත දමන සේක;
එබැවින් මම ඔබගේ පනත්වලට ප්‍රේම කරමි.
120මගේ මාංසය, ඔබට ඇති භයින් වෙවුලුම් කයි.
ඔබගේ නියමයන්වලට දැඩි භයින් පසුවෙමි.
ע අයින්
121මම යුතු දේ ද හරි දේ ද කළෙමි;
මට පීඩාකරන්නවුන් අතට මා අත්හැර නො දමනු මැනව.
122ඔබගේ සේවකයාගේ ශුභ සිද්ධිය සහතික කළ මැනව;
මට පීඩා කරන්නට අහංකාරීන්ට ඉඩ නුදුන මැනව.
123ඔබගේ ගැලවීම ගැන, දැහැමි පොරොන්දුව ඉටුවීම ගැන බලා සිටීමෙන්
මගේ දෙනෙත් විඩාබර වෙයි.
124ඔබගේ සේවකයා ගැන ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව ක්‍රියා කළ මැනව;
ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව.
125මා ඔබගේ සේවකයා ය; ඔබගේ පනත් ඉගෙන ගන්නා පිණිස,
මට පැහැදිලි වැටහීම දුන මැනව.
126ඔබගේ ව්‍යවස්ථාව කඩ වී ඇති බැවින්,
ස්වාමින්වහන්සේට ක්‍රියා කරන්නට කාලයයි මේ.
127රනට වඩා, අමිශ්‍ර රනට වඩා,
ඔබගේ ආඥාවලට මම ප්‍රේම කරන්නෙමි;
128එබැවින් ඔබගේ ශික්ෂා සියල්ල නිවැරදි යයි මම කල්පනාවට ගනිමි;
වැරදි හැම මාර්ගයකට ම ද්වේෂ කරමි.
פ පේ
129විස්මයජනක ය ඔබගේ පනත්,
එබැවින් මගේ ජීවය ඒවා පිළිපදියි.
130ඔබගේ වචන එළිදරවු වීමෙන් ආලෝකය ලැබේ;
සාමාන්‍ය වැසියාට එමඟින් වැටහීම ලැබේ.
131ඔබගේ ආඥාවලට දැඩි ව ආශා වන බැවින්,
ඒ ගැන පිපාසයෙන්, මම මුව විවර කරමි.
132ඔබගේ නාමයට ප්‍රේම වන්නන්ට කවදත් ඔබ දයාවන ලෙසින්,
මවෙත හැරී, මට ද දයා පෑ මැනව.
133මගේ පියවර, ඔබගේ පොරොන්දුවට අනුව ස්ථාවර කළ මැනව;
කිසියම් අයුතුකමක් මා පාලනය නො කෙරේවා!
134මවිසින් ඔබේ ශික්ෂා, රක්ෂා කරන පිණිස,
මිනිසුන්ගේ පීඩනයෙන් මා මුදා ගත මැනව.
135ඔබගේ සේවකයා පිට ඔබගේ මුහුණ බැබළුව මැනව;
ඔබගේ නියෝග මට ඉගැන්නුව මැනව.
136ජනයා ඔබගේ ව්‍යවස්ථාව නො පවත්වන බැවින්,
කඳුළු දහරා මගේ දෙනෙතින් රූරා ගලා යයි;
צ ට්සාදේ
137අහෝ ස්වාමින්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය.
ඔබගේ නියමයන් යුක්ති සහගත ය.
138ඔබවහන්සේ ඔබගේ පනත් පනවා ඇත්තේ දමිටුකමිනි.
සම්පූර්ණ විශ්වසනීයත්වයෙනි.
139මගේ සතුරන් ඔබගේ වචනය අමතක කරන බැවින්,
මගේ උද්වේගයෙන් මම දැවෙන්නෙමි.
140ඔබගේ පොරොන්දු සපුරා ප්‍රත්‍යක්ෂ ය ය;
ඔබගේ සේවකයා ඒවාට ප්‍රේම කරන්නේ ය.
141මම සුළු කෙනෙක්මි. ගර්හා කරනු ලැබූවෙක්මි.
එහෙත් ඔබගේ ශික්ෂා අමතක නො කරන්නෙමි.
142ඔබගේ ධර්මිෂ්ඨත්වය, සදාතනික ධර්මිෂ්ඨත්වයකි;
ඔබගේ ව්‍යවස්ථාව සත්‍යතාවය ය.
143කරදර, විපත්ති මා සොයා ආවා වුව ද,
මගේ ප්‍රමෝදය ඔබගේ ආඥාවන් ය.
144ඔබගේ පනත් සදහට ම ධර්මිෂ්ඨ ය.
මා ජීවත් වන පිණිස, මට අවබෝධය දුන මැනව.
ק කෝෆ්
145මගේ හදවතින් ම, මම ඔබට මොරගසන්නෙමි; පිළිතුරු දුන මැනව මට, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ නියෝග මම පිළිපදින්නෙමි.
146මම ඔබට හඬ ගසන්නෙමි; මා ගැලෙවුව මැනව;
මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි.
147අරුණ උදයටත් කලින් නැගිට, පිහිට පතා මොරගසන්නෙමි;
ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තු ඇත.
148ඔබගේ පොරොන්දු ගැන භාවනා කරන පිණිස,
රෑ තුන්යමේ මගේ නෙත් නො පියා, අවදියෙන් සිටී.
149ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මගේ කටහඬට කන් දුන මැනව; අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ නියමයන්වලට අනුව, මට ජීවිතය දුන මැනව.
150දුෂ්ට අරමුණින් මට හිංසා කරන්නෝ ළඟා වෙති;
එහෙත් ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔවුන් බොහෝ ඈත ය.
151එහෙත් ඔබ ඉතා සමීප ය, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ සියලු ම ආඥා සත්‍යය ය.
152සදහට ම පවතින පිණිස, ඔබ ස්ථාපිත ඔබගේ පනත්,
මා දැනගෙන බොහෝ කල් ය.
ק රේෂ්
153මගේ දුක් පීඩා දෙස බලා මා මිදුව මැනවි;
මන්ද මම ඔබගේ ව්‍යවස්ථාව අමතක නො කළෙමි.
154මා වෙනුවෙන් පෙනී සිට, මුදා ගත මැනව,
ඔබගේ පොරොන්දුව ලෙස මා ගැලෙවුව මැනව.
155ගැලවීම, දුෂ්ටයින්ගෙන් දුරස්ථ ය;
මන්ද ඔවුහු ඔබගේ නියෝග නො සලකති.
156ඔබගේ දයාව ඉමහත් ය, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ නියමයන් ලෙස මට ජීවනය දුන මැනව.
157මට පීඩා කරන්නන් හා මට සතුරු වූවන් බොහෝ ය;
එහෙත් ඔබගේ පනත් වෙතින් මා ඉවත හැරුණේ නැත.
158අවිශ්වාසිකයින් දෙස මා බලන්නේ පිළිකුලෙනි;
මන්ද ඔවුන් ඔබගේ වචනයට අවනත නැත.
159අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශික්ෂාවනට මා කොතරම් ප්‍රේම කරම්දැයි කල්පනාවට ගත මැනව;
ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මට ජීවනය දුන මැනව.
160ඔබගේ සියලු වචන සත්‍යය ය;
ඔබගේ සෑම දමිටු නියමයක් ම සදාතනික ය.
ש ෂීන්
161අහේතුක ව අධිපතීහු මට හිංසා කරති;
එහෙත් මගේ හදවත ඔබගේ වචනයට භය පක්ෂපාතී ය.
162ඔබගේ පොරොන්දුව ගැන මා ප්‍රීති ප්‍රමෝද වන්නේ,
මහා කොල්ලයක් ලබන්නකු පරිද්දෙනි.
163මුසාවට මම ද්වේෂ කරමි, පිළිකුල් කරමි;
එනමුදු ඔබගේ ව්‍යවස්ථාවට මම ප්‍රේම කරමි.
164ඔබගේ දමිටු නියමයන් ගැන දවසට හත් වරක්
මම ඔබ පසසමි.
165ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට විශිෂ්ට සාමයක් ඇත;
ඔවුන් පැකිළවන්නට කිසිවකට බැරි ය.
166ඔබගේ ගැලවීම ගැන බලාපොරොත්තුව සිටිමි.
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ආඥා, මම රක්ෂා කරන්නෙමි.
167මගේ ජීවය, ඔබගේ පනත් පිළිපදියි.
ඒවාට මම අතිශයෙන් ප්‍රේම කරමි.
168ඔබගේ ශික්ෂා හා පනත් මම පිළිපදිමි.
මන්ද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහි ය.
ת තාව්
169මගේ හඬ ගෑම, ඔබ ඉදිරියට පැමිණේවා අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ වචනයට අනුව මට අවබෝධය දුන මැනව.
170මගේ අයැදුම ඔබ අබියසට පැමිණේවා;
ඔබගේ වචනයට අනුව මා මුදාලුව මැනව.
171මගේ දෙතොලින් ප්‍රශංසාව දෝරෙ ගලයි;
මන්ද ඔබගේ නියෝග ඔබ මට ඉගැන් වූ සේක.
172ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨ බැවින්,
මගේ දිව, ඔබගේ වචනය ගැන ගී ගයයි.
173මා ඔබගේ ශික්ෂා තෝරාගත් බැවින්,
ඔබගේ හස්තය මගේ උපකාරයට සූදානමින් තියේවා!
174ඔබගෙන් ලබන ගැලවීමට මම ආශා වෙමි;
අහෝ ස්වාමින්වහන්ස, මගේ සොම්නස, ඔබගේ ව්‍යවස්ථාවයි.
175මගේ ජීවය, ජීවත් ව ප්‍රශංසා කරාවා;
ඔබගේ නියමයන් මා දරා සිටීවා!
176මග වැරදුණු බැටළුවකු සේ මම මුළාව ගියෙමි.
ඔබගේ සේවකයා සොයාගත මැනවි.
මන්ද ඔබගේ ආඥා මම අමතක නො කළෙමි.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 119: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න