ගීතාවලිය 115

115
ගීතාවලිය 115
1අපට නො ව, අහෝ ස්වාමින්වහන්ස, අපට නො ව,
ඔබගේ නාමයට තේජෝ මහිම වේවා!
ඒ, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා ය.
2“කෝ! කොහේ ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ” යි
පිට ජාතීන් පවසන්නේ මන්ද?
3අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය;
තමන්ට රිසි දේ උන්වහන්සේ කරන සේක.
4එහෙත් ඔවුන්ගේ දේවතා රූප රිදී හා රන් පිළිම ය;
ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය.
5ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය;
ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත.
6ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත;
නාසා ඇත, එහෙත් ගඳ-සුවඳ නො දැනේ.
7ඒවාට අත් ඇත, එහෙත් ඒවායින් කිසිවක් අල්ලන්නට බැරි ය;
ඒවාට පා ඇත, එහෙත් ඇවිදින්නට නො හැක.
උගුරින් යම් හඬක් නගන්නට ද ඔවුනට බැරි ය.
8ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති;
ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති.
9එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
10එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
11උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
12 ස්වාමින්වහන්සේ අප සිහි කරන සේක; අපට ආශිර්වාද කරන සේක;
උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශිර්වාද කරන සේක;
උන්වහන්සේ ආරොන් වංශයට ආශිර්වාද කරන සේක;
13 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ලොකු කුඩා සියල්ලනට
උන්වහන්සේ ආශිර්වාද කරන සේක.
14 ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා;
ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා!
15අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන
ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!
16ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ;
එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ.
17 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නේ මළගිය ඇත්තන් නො වේ,
නිසලතාවට බැස ගිය ඇත්තන් නො වේ;
18අපි, දැනුත්, මින් ඉදිරියට සදහටත්
ස්වාමින්වහන්සේ පසසන්නෙමු.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 115: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න