ගීතාවලිය 103:6-18

ගීතාවලිය 103:6-18 SCV

පීඩාවට පත් සියල්ලන් උදෙසා, ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක. උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක. ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත; අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත. මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය. නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක. පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක. මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක, අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක. මිනිසාගේ දවස්, තෘණ වැන්න, ඔහු වැඩෙන්නේ බැද්දේ පිපෙන මලක් වගේ ය. මන්ද ඒ මතින් සුළඟ හැමූ කල, එය නැති වී ගොසිනි, එය තිබූ තැනවත් දැනගත නො හැක. එහෙත් ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදාතනික ව පවතින්නේ, උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් වෙත ය; උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ඔවුන්ගේ දරු පරපුර වෙත ය; උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නන් හා උන්වහන්සේගේ ශික්ෂා පිළිපදින්නට මතක තබාගන්නවුන් වෙත ය.