ගීතාවලිය 103:1-13

ගීතාවලිය 103:1-13 SCV

එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය; රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස, යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය. පීඩාවට පත් සියල්ලන් උදෙසා, ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක. උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක. ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත; අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත. මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය. නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක. පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක.

ගීතාවලිය 103:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය