හිතෝපදේශ 7

7
අනාචාර ස්ත්‍රිය ගැන අනතුරු ඇඟවීමක්
1මා පුත, මගේ වචන පිළිපදින්න;
මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්න.
2මගේ ආඥා පිළිපදින්න; එවිට ඔබ ජීවත් වනු ඇත.
මගේ ඉගැන්වීම්, ඇසේ කළුරුවාව සේ රැක ගන්න.
3ඒවා ඔබේ ඇඟිලිවල පැලඳ ගන්න;
ඒවා ඔබේ හදවත් පුවරුවේ ලියාගන්න.
4ප්‍රඥාවට, “ඔබ මගේ සහෝදරී” යි කියන්න,
අවබෝධයට, ඔබේ ළඟ ම නෑයා කියා අමතන්න.
5තවද, අනාචාර ගැහැණියගෙන් ද
චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.
6මගේ ගෙදර ජනේලයේ
ගරාදි අතරින් මම පිටත බැලුවෙමි.
7අනුවණ ජනයා අතරෙහි මම බැලුවෙමි;
අවබෝධයෙන් තොර තරුණයකු
යෞවනයින් අතර මම දුටුවෙමි.
8ඔහු වීදිය ඔස්සේ ඇගේ ලැගුම්පල අසලින්
ඇගේ නිවස දෙසට යමින් සිටියේ ය.
9ඒ දවස ගෙවීගෙන යන සවස් ගොම්මනේ ය;
රැයේ අඳුර වට කොට ගන්නා වෙලාවේ ය.
10එවිට මෙන්න ගැහැණියක්, ඔහු හමුවට ආවා ය;
වංචනික අරමුණින් යුතු වූ ඈ සැරසී සිටියේ වෙසඟනකගේ ඇඳුමිනි.
11කටකාර, තද මුරණ්ඩු තැනැත්තියක වූ ඈ,
කිසිවිටකත් ගෙදර නො රඳන්නී ය.
12විටෙක ඈ වීදියට යන්නී ය, විටෙක කඩ මණ්ඩියට පිය නගන්නී ය;
හැම මුල්ලක ම රැක සිට ඉව අල්ලන්නී ය.
13ඈ ඔහු අල්ලා ඔහු සිපගෙන,
විලි ලජ්ජා නැති මුහුණින් මෙසේ කීවා ය:
14“මා අද පූජා කළ ශාන්ති පූජාවේ මස ගෙදර තියේ;
අද මා මගේ බාර-හාර ඔප්පු කළා.
15ඔබ හමුවන්නයි මා ගෙයින් පිටතට ආවේ;
ඔබ සොයාගෙනයි මා මේ ආවේ, මෙන්න දැන් මට ඔබ හමුවෙලා!
16ඊජිප්තුවේ හණ නූලෙන් කළ වෛවර්ණ ඇතිරිලි
මගේ යහනේ එළා තියේ.
17සුවඳලාටු, අගිල් හා කුරුඳුවලින්
මගේ යහන මා සුවඳ ගැල්වූවා.
18එන්න, එළිවන තුරා අපි ආලයේ මධුවිත බොමු;
අපි ආදර මිහිර විඳිමු.
19මගේ සැමියා ගෙදර නැත;
එයා දුර ගමනක් ගිහින්.
20ලොකු මුදලක් අතේ ඇති ව ගිය නිසා
ඔහු එන්නේ පුන් පෝයටත් පස්සේ” යි කීවා ය.
21ඈ තම ඉච්චා බසින් ඔහු වසඟ කර ගත්තා ය;
තම මුදු තෙපුලින් ඔහු නොමගට හරවා ගත්තා ය.
22එකෙණෙහි ම ඔහු ඈ පසු පස ඇදුනේ,
මස් කඩයට ගෙන යන හරකකු පරිද්දෙනි;
ඇටවූ තොණ්ඩුවකට පා තබන මුවකු පරිද්දෙනි.
23හීයක් තම අක්මාව සිදුරු කරන තුරු ඌ ඒ වග නො දත්තේ ය.
තම ජීවිතය ම අවදානමේ බව නො දැන
මළපුඩුවකට වේගයෙන් ඇදී යන කුරුල්ලකු පරිද්දෙනි.
24එබැවින් දැන්, මා පුත, මට සවන් දෙන්න;
මා කියන දේට අවධානය යොමන්න.
25ඇගේ මාර්ග වෙත ඔබේ හද නො හැරේවා!
ඇගේ මාවත් තුළට මුළාව නො යේවා!
26ඇයට ගොදුරු වී වැටී ගියෝ බොහෝ ය.
ඇය නැති නාස්ති කළ සංඛ්‍යාව අති මහත් ය.
27ඇගේ නිවස මිනී වළට දිවෙන මාර්ගයකි;
එය මරණයේ මන්දිර වෙත බැස යයි.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 7: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න