හිතෝපදේශ 31:1-9

හිතෝපදේශ 31:1-9 SCV

ලෙමුවෙල් රජුගේ කියමන්, ඔහුගේ මව විසින් ඔහුට උගන්වනු ලැබූ දිව්‍ය ප්‍රකාශනයකි. අහෝ මගේ පුත්‍රය, අහෝ මගේ ගර්භයේ පුත්‍රය, අහෝ මගේ බාර-හාරවල පුත්‍රය, නුඹේ කාය ශක්තිය ස්ත්‍රීන්ට වැය නො කරන්න; නුඹේ දිවි සම්පත රජුන් නාස්ති කරන්නියනට නො දෙන්න. මිදි යුෂ පානය රජුන්ට හොඳ නැත, මත්පැන් ලෝලය පාලකයින්ට හරි නැත; එම්බා ලෙමුවෙල්, ඒවා රජුන් උදෙසා නො වේ. මත් වී, නීති නියෝග අමතක නො කරන පිණිසත්, පීඩිතයින්ගේ අයිතීන් පැහැර නොහරින පිණිසත්, රජුන් මත්පැනින් වැළකුණා වේ! විනාශ වන්නන්ට මත්පැන් දෙන්න; සෝ සන්තාප ඇතියවුන්ට මිදි යුෂ දෙන්න. ඔවුන් බී, මත් ව, තම දුගී භාවය අමතක කළා වේ; තම දුක්ඛිතභාවය මතක නැති කළා වේ. තමන් උදෙසා කරුණු කියන්නට බැරි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ අසරණයින්ගේ අයිතීන් උදෙසා කතා කරන්න. ඔවුන් වෙනුවෙන් කතා කොට, සාධාරණ ව විනිශ්චය කරන්න; දුගී-දුප්පතුන්ගේ, නැති-බැරිවුන්ගේ අයිතීන් රැක දෙන්න.