හිතෝපදේශ 30:1-9

හිතෝපදේශ 30:1-9 SCV

යාකේගේ පුත්‍ර ආගූර්ගේ කියමන්-දිව්‍ය ප්‍රකාශනයකි. මේ මිනිසා ඊතියෙල්ට ප්‍රකාශ කළ දේ: “මම වෙහෙසට පත් ව සිටිමි අහෝ දෙවියන්වහන්ස, එහෙත් මට ජය ගත හැකි ය. මිනිසුන් අතර ඉතාම මෝඩයා මම ය; මිනිසා සතු අවබෝධය මට නැත. මම ප්‍රඥාව ඉගෙන නො ගතිමි; ශුද්ධ තැනැන්වහන්සේ පිළිබඳ කිසි දැනුමක් ද මට නැත. ස්වර්ගයට නැගී ගොස්, ආපසු පහළ බැස ආවේ කවුරු ද? ස්වකීය අල්ලට සුළඟ එකතු කර ගත්තේ කවුරු ද? ස්වකීය සළුවෙහි ජලය දවටා ගත්තේ කවුරු ද? පොළොවේ සියලු සීමා-මායිම් පිහිටෙවුවේ කවුරු ද? එතුමන්ගේ නම කුමක් ද? එතුමන්ගේ පුත්‍රයාණන්ගේ නම කුමක් ද? ඔබ දන්නවා නම් මට කියන්න! “දෙවියන්වහන්සේගේ වචනය, ප්‍රත්‍යක්ෂ ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නො කරන්න; කළහොත්, උන්වහන්සේ ඔබට තරවටු කර, ඔබ බොරුකාරයකු වග පෙන්වනු ඇත. “අහෝ ස්වාමින්වහන්ස, කරුණු දෙකක් මම ඔබගෙන් ඉල්ලන්නෙමි; මා මියැදෙන තුරා ඒවා ප්‍රතික්ෂේප නො කළ මැනව. බොරුවත්, මුසාවත් මගෙන් ඈත් ව තැබුව මැනව; දුගී භාවයටවත්, ධනවත් භාවයටවත් මා නො පමුණුවා, සුදුසු ප්‍රමාණයට ආහාර මට දුන මැනව. නැතහොත්, මා ධනයෙන් පිරී, ඔබ සුළු කරමින්, ‘කවුරු ද මේ ස්වාමින්වහන්සේ’ යි කියත හැකි ය. අනෙක් අතට මා දිළිඳු වී, සොරකම් කර, මගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවයට පැමිණ විය හැකි බැවිණි.