හිතෝපදේශ 30:1-10

හිතෝපදේශ 30:1-10 SCV

යාකේගේ පුත්‍ර ආගූර්ගේ කියමන්-දිව්‍ය ප්‍රකාශනයකි. මේ මිනිසා ඊතියෙල්ට ප්‍රකාශ කළ දේ: “මම වෙහෙසට පත් ව සිටිමි අහෝ දෙවියන්වහන්ස, එහෙත් මට ජය ගත හැකි ය. මිනිසුන් අතර ඉතාම මෝඩයා මම ය; මිනිසා සතු අවබෝධය මට නැත. මම ප්‍රඥාව ඉගෙන නො ගතිමි; ශුද්ධ තැනැන්වහන්සේ පිළිබඳ කිසි දැනුමක් ද මට නැත. ස්වර්ගයට නැගී ගොස්, ආපසු පහළ බැස ආවේ කවුරු ද? ස්වකීය අල්ලට සුළඟ එකතු කර ගත්තේ කවුරු ද? ස්වකීය සළුවෙහි ජලය දවටා ගත්තේ කවුරු ද? පොළොවේ සියලු සීමා-මායිම් පිහිටෙවුවේ කවුරු ද? එතුමන්ගේ නම කුමක් ද? එතුමන්ගේ පුත්‍රයාණන්ගේ නම කුමක් ද? ඔබ දන්නවා නම් මට කියන්න! “දෙවියන්වහන්සේගේ වචනය, ප්‍රත්‍යක්ෂ ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නො කරන්න; කළහොත්, උන්වහන්සේ ඔබට තරවටු කර, ඔබ බොරුකාරයකු වග පෙන්වනු ඇත. “අහෝ ස්වාමින්වහන්ස, කරුණු දෙකක් මම ඔබගෙන් ඉල්ලන්නෙමි; මා මියැදෙන තුරා ඒවා ප්‍රතික්ෂේප නො කළ මැනව. බොරුවත්, මුසාවත් මගෙන් ඈත් ව තැබුව මැනව; දුගී භාවයටවත්, ධනවත් භාවයටවත් මා නො පමුණුවා, සුදුසු ප්‍රමාණයට ආහාර මට දුන මැනව. නැතහොත්, මා ධනයෙන් පිරී, ඔබ සුළු කරමින්, ‘කවුරු ද මේ ස්වාමින්වහන්සේ’ යි කියත හැකි ය. අනෙක් අතට මා දිළිඳු වී, සොරකම් කර, මගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවයට පැමිණ විය හැකි බැවිණි. “සේවකයකු ගැන ඔහුගේ හාම්පුතාට කේලම් නො කියන්න, කිවහොත්, ඔහු ඔබට ශාප කරනු ඇත; එහි විපාකය විඳින්නට ඔබට සිදු වනු ඇත.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 30:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය