හිතෝපදේශ 3:1-21

හිතෝපදේශ 3:1-21 SCV

මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න; මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න. මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය. දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න. එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී, ප්‍රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත. ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ. ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය. මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න; උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න. පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ, ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක. ප්‍රඥාව සොයන මිනිසා, අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය. මන්ද එය රිදීවලට වඩා පලදායි ය; රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය. ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ. ඇගේ දකුණත ඇත්තේ, දීර්ඝායුෂ ය; වමතෙහි ඇත්තේ, ධන සම්පත් හා ගෞරවය ය. ඇගේ සියලු මාර්ග ප්‍රිය ජනක ය; ඇගේ මාවත් සියල්ල සාමය ය. ප්‍රඥාව තමා වැලඳගන්නාට ජීවන වෘක්ෂයකි; ඇය තරකොට අල්ලා ගන්නා ආශිර්වාද ලබන්නේ ය. ස්වාමින්වහන්සේ පොළෝ අත්තිවාරම් ලූයේ ප්‍රඥාව මගිනි; උන්වහන්සේ අහස ස්ථානගත කළේ අවබෝධය මගිනි. ගැඹුරේ උල්පත් විවර කෙරුණේත්, වලාකුළුවලින් පිණිබිඳු වෑස්සෙන්නේත් උන්වහන්සේගේ දැනුම මගිනි. මා පුත, පිරිපුන් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත් ආරක්ෂා කර ගන්න; ඔබට පෙනෙන තෙක් මානයෙන් බැහැරවීමට ඒවාට ඉඩ නො දෙන්න.