හිතෝපදේශ 28:15-28

හිතෝපදේශ 28:15-28 SCV

අසරණ ජනතාවක් පාලන කරන දුෂ්ට මිනිසා, ගොරවන සිංහයෙක් ද ගොදුරු සොයා දිවෙන වලහෙක් ද වැනි ය. අවබෝධයක් නොමැති පාලකයා කුරිරු පීඩාකාරයෙක; එහෙත් අයුතු ලාභයට ද්වේෂ කරන්නා දීර්ඝායු භුක්ති විඳියි. මිනීමැරීමේ වරදට, මානසික වධයට පත් මිනිසා මරණය තෙක් ඉබාගාතෙ යයි; කිසිවකුත් ඔහුට උපකාර නො කරත්වා. නිර්දෝෂී ව ජීවත්වන්නෝ සුරක්ෂිත ය; එහෙත් වංචනික මාර්ගයේ යන්නා හදිසියේ ම ඇද වැටෙන්නේ ය. තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ දුගී භාවයට හසු වන්නෝ ය. විශ්වසනීය මිනිසා, විපුල ආශිර්වාද ලබන්නේ ය; එහෙත් ධනවත්වීමට කෙටි මං සොයන්නා දඬුවම් නො ලබා නො සිටී. පක්ෂවාදී වීම හොඳ නැත; එහෙත් පාන් කැබැල්ලකටත් අපරාධ කරන මිනිස්සු සිටිති. මසුරු මිනිසා ධනවත්වීමට ඉක්මන් වෙයි; එහෙත් දුප්පත්කම ඔහු ගැන බලා සිටින වග ඔහු නො දනී. චාටු කතාවෙන් කෙනකු වර්ණනා කරන්නා නො ව, අන්තිමේදී පිළිගැනෙන්නේ ඔහුට තරවටුකරන්නා ය. තම පියාගෙන් හෝ මවගෙන් හෝ සොරාගෙන, “ඒකෙ ඇති දොසක් නැතැ” යි කියන්නා විනාශකයාගේ හවුල්කරුවෙකි. තණ්හාව ඇත්තා භේද-භින්න උපද්දයි; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා සඵල වෙයි. තමා ගැන ම විශ්වාසය තබා, කටයුතු කරන්නා අඥානයෙකි; එහෙත් ප්‍රඥාවෙන් යුතු ව, කටයුතු කරන්නා සුරක්ෂිත ය. නැති බැරි අයට දෙන්නන්ට හිඟකමක් නො වන්නේ ය; එහෙත් ඔවුන් ගැන ඇස් පියාගන්නවුන් පිට ශාප බොහෝ වෙයි. දුෂ්ටයින් බලයට පත් වන කල, ජනයා සැඟවෙති; එහෙත් දුෂ්ටයින් විනාශ වූ කල, ධර්මිෂ්ඨයෝ වැඩි වෙති.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 28:15-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය