හිතෝපදේශ 27:1-27

හිතෝපදේශ 27:1-27 SCV

හෙට ගැන පාරට්ටු කර නො ගන්න; මන්ද දවසක් ඇතුළත කුමක් වේ දැයි ඔබ දන්නේ නැති බැවිනි. වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න; ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ. ගල් බර ය, වැලිත් බර ය; එහෙත් අඥානයකුගේ කුපිත කරවීම ඒ දෙකට ම වඩා බර ය. කෝපය කුරිරු ය, උදහස රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉදිරියේ සිටගත හැක්කේ කවරකුට ද? නො පෙන්වන ප්‍රේමයට වඩා, විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය. මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය; එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත. කෑමෙන් තෘප්තිමත් වූ අයට මී-පැණිත් අප්‍රිය ය; එහෙත් සා-ගින්දර ඇති අයට තිත්ත අහර ද මිහිරි ය. තම ගෙදර හැර යන මිනිසා, තම කැදැල්ල හැර යන කුරුල්ලකුට සමාන ය. සුවඳ විලවුන් හා සුවඳ දුම් හදවතට ප්‍රීතියකි; මිතුරකුගේ ප්‍රිය මනාපය ඉස්මතු වන්නේ ළබැඳි උපදෙසින් ය. ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න; ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න. දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය. මා පුත, ප්‍රඥාවත් ව මගේ හදවත ප්‍රීතිමත් කරන්න; එවිට අවඥාවෙන් මට සලකන අයට නිසි පිළිතුරු දෙන්නට මට පුළුවන. නුවණක්කාරයා අනතුර දැක, රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා, දුක් කරදර විඳවයි. නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න; වෙසඟනක් සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න. යමෙක් අරුණ උදයෙන් නැගිට මහ හඬ නගා තම අසල්වැසියාට ආශිර්වාද කරන්නේ නම්, එය ඔහුට ශාපයක් කොට ගණන් ගැනේ. දබරයට බර බිරිඳ, වැසි දවසක නො නැවතී හැලෙන පොද වැස්ස වැන්න. ඇය මැඩපැවැත්විය හැකි නම්, සුළඟ ද මැඩපැවැත්විය හැකි ය; තෙල් අහුරක් අතින් ගත හැකි ය. යකඩින් යකඩ මුවහත් වන සේ, මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි. අත්තික්කා ගසක් රැක බලාගන්නා එහි පල කන්නේ ය; තම ස්වාමියා ගැන සලකන්නා ගෞරවය ලබන්නේ ය. වතුරෙහි මුහුණ ඒ හැටියට ම පිළිබිඹු වන්නා සේ, මිනිස් හදවත මිනිසා ඒ හැටියට ම පිළිබිඹු කරයි. ෂෙයෝලය ද අබද්දොන් ද කිසි කල තෘප්තියට නො පැමිණේ; මිනිස් ඇස ද කිසි කල තෘප්තියට නො පැමිණේ. රිදී පවිත්‍ර කිරීමට කෝව ද රත්රන්වලට උදුන ද වේ; එහෙත් මිනිසා පරීක්ෂා කරනු ලබන්නේ ඔහුට ලැබෙන ප්‍රශංසාවලිනි. අඥානයකු වංගෙඩියේ දමා, ධාන්‍ය කොටන්නාක් මෙන් මෝලෙන් කෙටුවත්, මෝඩකම ඔහුගෙන් පහ කළ නො හැක. ඔබේ ගව රැළේ තත්වය මැනවින් දැනගන්න, ඔබේ එළු බැටළු රැළ හොඳින් බලා ගන්න; මන්ද ධන සම්පත් සදහට ම නො පවතී, රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී. වියළි තෘණ ඉවත් කරනු ලැබූ කල, අලුත් තණපත් දළුලයි; කඳු හෙල්වලින් හරිත පලා රැස් කරනු ලබයි; එවිට බැටළු පැටවුන්ගෙන් ඔබට ඇඳුම් සැපයේ; කෙත් වතුවල මිල ගෙවන්නට එළුවෝ සිටිති. ඔබගේත්, ඔබේ නිවැසියන්ගේත් පෝෂණයට ද ඔබේ සේවිකාවන්ගේ නඩත්තුවට ද ඇති තරම් එළු කිරි ලැබේ.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 27:1-27 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය