හිතෝපදේශ 24:8-34

හිතෝපදේශ 24:8-34 SCV

දුෂ්ට උපා සැලසුම් කරන්නාට “කූටෝපකාරයා යැ” යි කියනු ලැබේ. මෝඩයින්ගේ යෝජනා පාපය ය; ගැරහුම්කරුවකු ජනයාට පිළිකුල් ය. අර්බුදකාරී අවස්ථාවලදී ඔබ පසුබට වේ නම්, ඔබගේ ශක්තිය කොතරම් අල්ප ද! මරණයට ගෙන යනු ලබන්නන් මුදා ගන්න; මරනු ලබන්නට ගාට ගාටා යන්නවුන් ඉන් වළක්වන්න. “මේ මොකවත් අප දන්නේ නැතැ” යි ඔබ කියන්නේ නම්, හදවත් කිරා බලන තැනැන්වහන්සේ එය නො දක්නා සේක් ද? ඔබගේ ජීවිතය සුරකින තැනැන්වහන්සේ එය නො දන්නා සේක් ද? එක් එක් මිනිසාට ඔහු කළ දේ අනුව ප්‍රතිවිපාක නො දෙන සේක් ද? මී පැණි කන්න මා පුත, මන්ද එය හොඳ ය; මී-වදයේ පැණි රසයෙන් මිහිරි ය. ප්‍රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න; ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත. ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ. ධර්මිෂ්ඨ මිනිසකුගේ නිවසට එරෙහිව අපරාධකරුවකු සේ රැක සිටීමක් නො කරන්න; ඔහුගේ වාසස්ථානය කොල්ලකෑමෙන් වළකින්න. මන්ද, ධර්මිෂ්ඨයා හත් වාරයක් වැටුණත්, නැගිටින්නේ ය. එහෙත් අධර්මිෂ්ඨයා විපත්තිවලින් වැටී යන්නේ ය. ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න. නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත. දුෂ්ට මිනිසුන් නිසා නොරිස්සුම් නො වන්න; දුෂ්ටයන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න. මන්ද දුෂ්ට මිනිසුනට අනාගත බලාපොරොත්තුවක් නැත; දුෂ්ටයින්ගේ පහන ද නිවා දමනු ලැබේ. ස්වාමින්වහන්සේට ද රජ්ජුරුවන්ට ද භය පක්ෂපාත වන්න; කැරලිකරුවන් සමඟ එක් නො වන්න. මන්ද ඒ දෙදෙනා ඔවුන් පිට හදිසි විනාශයක් එවනු ඇත; කවර විපත්තියක් එවනු ඇද්දැයි දන්නේ කවුරු ද? මේවා ප්‍රඥාවන්තයින්ගේ උපදේශයන් ය: විනිශ්චයේදී පැත්තක් ගැනීම හොඳ නැත. වැරදිකරු අමතා, “ඔබ නිර්දෝෂය” කියා තීන්දුව දෙන්නාට ජනයා ශාප කරනු ඇත; ජාතීන් චෝදනා කරනු ඇත. එහෙත් වරදකරුවාට දඬුවම් නියම කරන තැනැත්තාට සෙත සැලසේ; මහත් ආශිර්වාද ඔහු වෙත පැමිණේ. අවංක පිළිතුරක් දෙතොල සිප ගැනීමක් වැන්න. ඔබේ කෙතේ ගෙවත්තේ වැඩ ඉවරයක් කරන්න; ඔබේ කුඹුරු සූදානම් කර ගන්න, ඉන්පසු ඔබේ නිවස ගොඩ නගන්න. අහේතුක ව ඔබේ අසල්වැසියාට එරෙහිව සාක්ෂි නො දෙන්න; ඔබේ තොල්වලින් වංචා නො කරන්න. “ඔහු මට කළ ලෙස මමත් ඔහුට කරමි; ඔහු කළ දේට පළිය ගන්නෙමි” යි නො කියන්න. අලසයාගේ කුඹුරු පසු කර මම ගමන් ගතිමි; බුද්ධි හීන මිනිසාගේ මිදි වත්ත ළඟින් ගියෙමි. මෙන්න! එහි හැම තැන කටු පඳුරු නැගී, ඉඩම පුරා වල් වැවී, ගල් බැම්ම ද බිඳ වැටී ඇත. එසේ මා නිරීක්ෂණ කළ දෑ මම හදවතට ගතිමි; ඒ දුටු දැයින් මම පාඩමක් උගත්තෙමි. ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි; එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.