හිතෝපදේශ 20

20
1මිදි යුෂ ගැරහුම්කරුවෙකි, මද්‍යසාරය කලහකරුවෙකි;
ඒවායින් මුළාව යන්නා නැණවතකු නො වේ.
2රජකුගේ උදහස සිංහයකුගේ ගර්ජනාවක් වැන්න;
රජු කෝපගන්වන්නා එමඟින් තම ජීවිතය අහිමි කර ගනී.
3ගැටුම්වලින් වැළකී සිටීම කෙනකුට ගෞරවයක් ය;
එහෙත් හැම අඥානයෙක් ම, දබරයට ඉක්මන් ය.
4අලසයා නිසි කන්නයට හී හාන්නේ නැත;
ඔහු අස්වැන්න සොයන නමුත් කිසි දෙයක් හමුවන්නේ නැත.
5මිනිස් හදේ ඇති අරමුණු ගැඹුරේ ජලය වැන්න;
අවබෝධය ඇත්තා ඒවා උඩට ඇද ගනී.
6බොහෝ දෙනෙක් තමන් ළඟ නොමියෙන ප්‍රේමය ඇතැයි පවසති;
එහෙත් විශ්වාසවන්ත මිනිසකු සොයාගත හැක්කේ කවරකුට ද?
7දමිටු මිනිසා නිදොස් ජීවිතයක් ගත කරයි;
ඔහුගෙන් පසු ඔහුගේ දරුවන් භාග්‍යවත් ය.
8විනිශ්චය සඳහා රජකු තම සිහසුනෙහි හිඳගත් කල,
හැම නපුරක් ම තම දෑසින් පොළා වෙන් කරයි.
9“මම මගේ හද පිවිතුරු ව තබා ගතිමි;
මම මගේ පාපයෙන් පවිත්‍ර වී සිටිමි” කියා කවරකුට කිව හැකි ද?
10දෙයාකාර කිරුම් උපකරණ හා දෙයාකාර මිනුම් උපකරණ යන දෙවර්ගය ම
ස්වාමින්වහන්සේට පිළිකුල් ය.
11ළමයකු පවා කවර ආකාරදැයි දැනගත හැක්කේ ඔහුගේ කල්ක්‍රියාවෙනි;
ඔහුගේ පැවැත්ම නිර්මල ද නිවැරදි දැයි එයින් දැනගත හැකි ය.
12ඇසෙනා කන ද පෙනෙනා ඇස ද යන දෙක ම
මැවුවේ ස්වාමින්වහන්සේ ය.
13නින්දට ඇලුම් නො වන්න, ඇලුම් වුණොත්, දිළිඳුකමට වැටෙනු ඇත;
ඇස් ඇර සිටින්න, පමණටත් වැඩියෙන් ඔබට අහර ලැබෙනු ඇත.
14“මේක හොඳ නැත, මේක හොඳ නැතැ” යි මිලට ගන්නා පවසයි;
එහෙත් එතැනින් අහක් ව ගිය කල ලද වාසිය ගැන උදම් අනයි.
15රත්තරන් හා මුතු මැණික් ලොව බහුල ය.
එහෙත් දැනුම පවසන දෙතොල් වටිනා මැණිකකි.
16නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න;
පිටස්තරයකු සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න.
17වංචාවෙන් ලබා ගත් කෑම මිනිසකුට මිහිරි ය;
එහෙත් එය අවසන් වන්නේ කට පුරා බොරළුවලිනි.
18සැලසුම් ස්ථිර වන්නේ උපදෙස් මගිනි;
යුද්ධය කළ යුත්තේ තීක්ෂණ මග පෙන්වීමෙනි.
19කතා පතුරුවන්නා රහස් එළි කොට, විශ්වාසය බිඳියි;
එබැවින් වාචාලයින්ගෙන් දුරුව සිටින්න.
20යම් කෙනෙක් තම පියාට හා මවට ශාප කරයි නම්,
ඔහුගේ පහන ඝන අන්ධකාරයේදී නිවා දැමේ.
21ආරම්භයේදී කලබලයෙන් ලබාගන්නා උරුමය,
අවසානයේදී ආශිර්වාද නො ලබයි.
22“මේ වරදට මම පළිගන්නෙමි” යි නො කියන්න;
ස්වාමින්වහන්සේට කාරණය බාරකරන්න, උන්වහන්සේ ඔබ ගලවන සේක.
23දෙයාකාර කිරුම් පඩි ස්වාමින්වහන්සේ පිළිකුල් කරන සේක;
වංචනික තරාදි හොඳ නැත.
24මිනිසාගේ පියවර මෙහෙය වන්නේ ස්වාමින්වහන්සේ ය;
එසේ නම් යමෙක් තමාගේ ම මාර්ගය වටහා ගන්නේ කෙසේ ද?
25දුර දිග නො බලා, “මේක කැප යයි” කියා බාරයක් වී,
පසුව ඒ ගැන සිතා බැලීම උගුලකට පා තැබීමකි.
26ප්‍රඥාවත් රජ දුෂ්ටයින් පොළා දමයි;
ඔහු ගොයම් මඬින යන්ත්‍රයෙන් ඔවුන් පාගා පොඩිකර දමයි.
27මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමින්වහන්සේගේ පහන ය;
ඔහුගේ ඇතුළාන්තය එයින් සෝදිසි කෙරේ.
28ප්‍රේමය හා විශ්වසනීයත්වය රජකු ආරක්ෂා කරයි;
ඔහුගේ සිංහාසනය තහවුරු වන්නේ කඩ නො වන ප්‍රේමයෙනි.
29තරුණයින්ගේ තේජස, ඔවුන්ගේ ශක්තියයි;
වයස්ගතවූවන්ගේ අලංකාරය, පැසුණු හිසකේ ය.
30දඬුවම් පහර හා රිදවීම් තුවාල නපුර සෝදා හරී;
පහර ලැබීමෙන් හද ඇතුළාන්තය පිරිසිදු වේ.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න