හිතෝපදේශ 13:1-25

හිතෝපදේශ 13:1-25 SCV

ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි; එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි. තම තොල්වල පලවලින් මිනිසෙක් යහ දෑ භුක්ති විඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ දැඩි ආශාව සැහැසිකමට ය. තම කට රැක ගන්නා තම දිවි රැක ගනී; එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ. අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ; එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ. දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති; එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති. ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි. ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති; වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති. ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි; එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත. ධර්මිෂ්ඨයින්ගේ ආලෝකය දීප්තිමත් ව බබළයි; එහෙත් අධර්මිෂ්ඨයින්ගේ පහන නිවා දැමේ. අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. වංචනික ව ලද මුදල් වහා දියවී යයි; එහෙත් ටිකෙන් ටික රැස් කර ගන්නා එය වැඩි කර ගනී. බලාපොරොත්තු ඉටුවීම පමාවීමෙන් සිත් කලකිරේ; එහෙත් ආශාවන් ඉටුවීම ජීවන වෘක්ෂයකි. අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි. ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි. නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය. හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය. හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි; එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත. වගා නො කළ කෙත්වල දුප්පතාට ආහාර බෝග හට ගැනේ; එහෙත් අයුක්තියෙන් ඒවා ගසා ගෙන යයි. වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි; එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි. දමිටු දනා තම හදවත් තෘප්තිමත් වන සේ අහර ගනිති; එහෙත් දුෂ්ටයින්ගේ කුසේ කුස ගිනි තිබේ.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 13:1-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය